හිටපු ඇමති මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් නෙරපයි



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් හා පක්ෂයේ සියලු තනතුරුවලින්  නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මහින්ද සමරසිංහ මහතාගේ ඉවත් කිරීමෙන් හිස් වූ එම තනතුරු සදහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත‍්‍රලාල් මෙන්ඩිස් මහතා පත්කිරීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා කීවේය.

මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හෙට (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දීමට නියමිත බවද පක්‍ෂයේ එම ප‍්‍රකාශකයා පැවසීය.

පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු කීවේය.

(ඩයනා උදයංගනී)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *