වැලිසර නාවික හමුදා කඳවුරේ 1000ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට යැව්වා. අද තවත් 400ක් යවනවා – හමුදාපති

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 1000කට අධික සංඛ්‍යාවක් පසුගිය දින දෙක තුළ යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණු බවත් අද දිනයේ තවත් 400ක් එසේ යොමු කෙරෙන අතර හෙට සහ අනිද්දා දිනවලත් වැලිසර නාවික හම්දා කඳවුරේ සෙබළුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකිරීම සිදු කෙරෙන බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

“අපි මීට ඉස්සෙල්ලත් මාධ්‍ය මඟින් කිව්වා මේ කඳවුරක අපට ඉන්න පුළුවන් සංඛ්‍යාවක් තිබෙනවා. ඒ සංඛ්‍යාව හදද්දි අපි හදලා තියෙන්නෙ සාමාන්‍යයෙන් ඉන්න ක්‍රමවේදයන් අනුව. නමුත් මේ අවස්ථාවේදී ඒ දේ කරන්න බෑ. ශාරීරික දුරස්ථභාවය උපරිමයෙන් තබාගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඉතිං ඒ ශාරීරික දුරස්ථභාවය රැකගැනීමේදී ඒ කඳවුරුවල ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම වැලිසර කඳවුරේ විශාල සංඛ්‍යාවක සිටියා. මං හිතන්නෙ හාර පන්දාහකට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඒ සංඛ්‍යාව දුරස්ථභාවය රැකගන්න නම් අනිවාර්යයෙන්ම ඉඩ ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඔවුන් සියලුම ස්ථානවලට, කාර්යාලවලට පවා යොදවලා දුරස්ථභාවය රැකගන්න උත්සාහ කරනවා. නමුත් අපි මේ අවස්ථාවේදී සහායක් වශයෙන් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමටත් – සමගිය ශක්තියයි. අපි ත්‍රිවිධ හමුදාව එකට කටයුතු කරන්නෙ – ඒ අනුව තමයි මීට දින දෙකකට පෙර යුධ හමුදාව විසින් 550ක වගේ සංඛ්‍යාවක් නාවික රණවිරුවන් ලබාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කරනු ලැබුවා. ඊයේ දිනයේත් ඒවගේම 520 දෙනෙකු අප රැගෙන ගියා ඔවුන්ට නිරෝධායන කටයුතු කිරීමට. 

අද දිනයේත් ඒ ආකාරයටම තවත් 400ක පමණ සංඛ්‍යාවක් යුධ හමුදාව විසින් ඒ ආකාරයට රැගෙන යාමට නියමිතයි. හෙට අනිද්දා දිනවලත් මේ ආකාරයෙන් දුරස්ථභාවය රැක ගැනීමේ පරිසරයක් සකස් කිරීම සඳහා අපි කටයුතු කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *