“ජූනි 20 මහමැතිවරණය පවත්වන්න බැහැ” – සුමන්තිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනර්ඝ කරුණු දැක්වීමක්

මහමැතිවරණය පවත්වන දිනය සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මැතිවරණ පෙත්සම් සලකා බැලීම අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  ආරම්භ කළ අතර,  එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ වැදගත් කරුණු කිහිපයක් වෙත මේ ලිපියෙන් අවධානය යොමු කෙරේ. 

මේ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 ක් අද දින සලකා බැලීම ආරම්භ විය. 

මෙහිදී අදහස් දැක්වූ සුමන්තිරන් මහතා අවධාරණය කළේ ජූනි 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් ගණනාවක් මේ වන විට ඇති වී තිබෙන බවයි. 

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ඡන්දය පැවැත්වෙන දිනයට ප්‍රථම අවම වශයෙන් සති 5 ක් ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. 

මෙම මැතිවරණ පෙත්සම් විභාගයට ගැනීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දික ද  සිල්වා මහතා මූලික විරෝධතාවක් ගොනු කළේය. එහිදී පැවසුණේ එය පෙත්සම්, මූලික අයිතිවාසිකම් අයදුම්පත්වලට නියම කර ඇති කාලසීමාව පිළිබඳ අවශ්‍යතා සපුරාලන්නේ නැති බවයි. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් කරුණු කියාපෑම්වල අනුකූල කරගෙන තිබුණත්, ජනාධිපතිවරයා එක් මැතිවරණ පෙත්සමක වගඋත්තරකරුවෙකු කර නොමැති බව ද ඔහු තවදුරටත් නිරීක්ෂණය කළේය. 

පාර්ලිමේන්තුව අඛණ්ඩ ව්‍යූහයකි. 

මෙහිදී පාර්ලිමේන්තුවේ සම්භවය පිළිබඳ අධිකරණය ඉදිරියේ කරුණු කියා සිටි සුමන්තිරන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපගේ නීතියේ කොටසක් බව ද, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 7 සහ 8 වගන්ති උපුටා දක්වමින් පෙන්වා දුන්නේය. 

එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විකාශනය ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ, ව්‍යවස්ථාදායකය අඛණ්ඩ ආයතනයක් බවට පිළිගෙන ඇති බව ය. ඒ අනුව කාලයෙන් කාලයට පත්වන ඡන්දවලදී ව්‍යස්ථාදායකයේ සාමාජිකයන් වෙනස් විය හැකි වුවද, ව්‍යවස්ථාදායකය දිගින් දිගටම පැවතිය යුතුය. මේ බව ඉන්දීය නීති විද්‍යාව විසින් ද පිළිගෙන තිබේ. ලංකාවේ ව්‍යවස්ථාදායක වන්නේ පාර්ලිමේන්තුවයි. 

විසුරුවා හැරීම යනු පාර්ලිමේන්තුව නිද්‍රාවට පත්වීමක් පමණි – එවිට එය අවදි කළ හැකිය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට එහිදී සිදුවන්නේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් නැති වී යාමක් නොව, ශිශිරතරණයක් හෝ ‘නිද්‍රාවට පත්වීමක්‘ පමණි. එය නැවත අවදි කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීම කළ හැකිය. 

පාද තුනේ කනප්පුව

නූතන ක්‍රමය හෙවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී ඇති බලතල බෙදීමේ න්‍යාය අනුව තුළ පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව වෙත ය. එය 4 වැනි ව්‍යස්ථාවේ දැක්වෙන අයුරින් ක්‍රියාවට නැංවේ. මේ අතර, පාර්ලිමේන්තුව යනු පාද තුනකින් සමන්විත (ත්‍රිපාද) කනප්පුවක එක් පාදයකි. එම ත්‍රිපාද වන්නේ අධිකරණය, ව්‍යස්ථාදායකය සහ විධායකයයි. ඔබ එක් පාදයක් ඉවත් කළොත් කනප්පුව පෙරළී යනු ඇත.  

පාර්ලිමේන්තුවක් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. 

පාර්ලිමේන්තුවක් නොපවතින රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතියි. ජනතාව සිය නියෝජිතයන් හරහා ක්‍රියාවට නංවන බලය කිසි විටෙක මැඩ පැවැත්විය නොහැක. ඒ වෙනුවට නියත වශයෙන්ම සිදුවිය යුත්තේ එය ශක්තිමත් වීමයි. එය අපේ ආණ්ඩු ක්‍රමයේ මූලිකාංගයකි.  

2018 ඓතිහාසික නඩු තීන්දුව අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයා විසින් කරන ප්‍රකාශ බල රහිත ය 

මෙයට පෙර 2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණු SCFR 351/2018 නඩු අංකය දරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව පිළිබඳ සඳහන් කරමින් නීතීඥ සුමන්තිරන් මහතා කියා සිටියේ එහිදී ජනාධිපතිවරයාට යම්කිසි ආකාරයක ‘සීමා රහිත‘ හෝ නිරවශේෂ බලයක් නොපවතින බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහිදී, පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටුවමින් අධිකරණය එහිදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, පසුව පූර්ණ විනිශ්චයාසනයක් විසින් එය ශුන්‍ය සහ බලරහිත කෙරිණි.   

අප්‍රේල් 25 දා මහමැතිවරණය නොපැවැත්වූ හෙයින්ද, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තවදුරටත් බල රහිත වේ

මේ අනුව, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කරනු ලබන ප්‍රකාශයන් බල රහිත ය. එනම්, අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හෝ මැයි 14 වැනිදා නව පාර්ලිමේන්තුව රැස් කිරීමට හෝ නොහැකි විය. මේ දිනයන් සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරින බවට කළ ප්‍රකාශය එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශයම බල රහිත වේ. 

ජනාධිපතිවරයා මහමැතිවරණයට දින නියම කළේ කොරෝනා වසංගතය ගැන දැන දැනමයි

ජනාධිපතිවරයා විසින් මහමැතිවරණය කලින් පැවැත්වීමට දින නියම කළේ කොවිඩ්-19 වංසගතයේ ගෝලීය තත්වය පිළිබඳ දැන දැනම බවත්, මේ කාරණය පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කළ බවත් එහිදී සුමන්තිරන් මහතා තවදුරටත් පෙන්වා දුන්නේය. මාර්තු 2 වැනිදා ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් නොබෝ දිනකට පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය වසංගතයක් බව ප්‍රකාශයට පත් කළේය.  

මැතිවරණ කොමිසමේ අක්‍රමිකතා

නාම යෝජනා භාරගන්නා කාලසීමාවේදී මැතිවරණ කොමිසමේ අක්‍රමිකතාවන් ගණනාවක් දැකගත හැකි විය. මැතිවරණ කොමිසම ක්‍රියා කළේ සංගත ස්වභාවයකින් නොවේ. එනම් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වූ මාර්තු 16 වැනිදා නාමයෝජනා භාර ගැනීම සිදු නොකෙරිණි. නමුත් ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ 17 සහ 18 වැනිදා නාමයෝජනා භාරගත්තේය. ප්‍රසිද්ධ නිවාඩු පනතේ සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන අනුව පෙනී යන්නේ නාමයෝජනා පිළිබඳ ක්‍රියාකිරීමේ පැවති අක්‍රමිකතාවන් ය. 

නාමයෝජනා භාරගන්නා අවසන් දිනයේදී මැතිවරණ කොමිසමේ විශේෂ රාජකාරි (නාමයෝජනා පත්‍රිකා විමසා බැලීම සහ ඒවා ප්‍රතික්ෂේප කිරීම යනාදී) සිදු කෙරුණේ ද ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී ය. ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී කිසිදු නීතිමය කටයුත්තක් හෝ නීතිමය අරමුණකින් යුක්ත කිසිදු කටයුත්තක් සිදු නොකළ යුතු බව මහජන නිවාඩු පනත පවසයි. නමුත් මෙකී අතිශය වැදගත් ක්‍රියාවන් ප්‍රසිද්ධ නිවාඩු දිනයන්වලදී සිදුකිරීම මගින් සම්පූර්ණ කාර්යපටිපාටියම නිෂ්ඵල සහ අවලංගු බවට පත් වේ. 

හෙට දිනයේ උදෑසන 10 පටන් සෙසු පෙත්සම්කරුවන්ගේ මැතිවරණ පෙත්සම් විමසා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරනු ඇත. 

– රදිකා ගුණරත්න

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *