කොරෝනා රැලි – ගෙවතු වගා රැල්ල ( 1 කොටස ) – නිශාන්ත කමලදාස (Video)

කොවිඩ් 19 එක්ක පැතිරුණු වසංගය හමුවේ අපේ ජීවිතවල ලොකු වෙනස්කම් ඇති වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි, අපි හිතන පතන විදිහේ වෙනස්කම් ඇතිවෙලා තියෙනව. අනාගතය දිහා බලන විදිහෙ වෙනස්කම් ඇතිවෙලා තියෙනව. මේ අතරින් මම අද දවසේ කතා කරන්න කැමතියි – ගෙවතු වගාව ඉස්සරහට අරගෙන අපේ සමාජයේ යන කතිකාවක් පිළිබඳව. මොකද; ඒ විදිහට සකස් කරන මනස ඇතුළෙ ප්‍රශ්න ගණනාවක් ඇති කරනව, ඒක අනාගතය දිහා යහපත් ආකාරයකට බලන්න බාදාවක් වෙන්න ඉඩ තියෙනව. ඒ නිසා ම ගෙවතු වගා රැල්ල පිටුපස්සෙ තියෙන මානසිකත්වය ගැන හැදෑරීමකට ලක් කරන්නයි අද දවසෙ අපි බලාපොරොත්තු වෙන්නෙ.

මම හිතන්නෙ අපිට හොඳට පුරුදුයි විවිධ රැලි ගැන. තාප්ප චිත්‍ර රැල්ලක් ඇති වුණා. ඒකත් එක්ක මිනිස්සු ගියා. ‘සර්පින්බෝඩ්‘ එකක නැගලා යනවා වගේ මේ රැල්ලත් එක්ක යන එක බොහොම ආතල් එකක් ලැබෙන වැඩක්. බොහොම ආකර්ශනීය වැඩක්. ඒක නිසා මිනිස්සු මේකත් එක්ක යන්න හරි කැමතියි. ගෙවතු වගාව සම්බන්ධයෙනුත් එහෙම එකක් තිබුණා. ගෙදරට වෙලා ඉන්නකොට කරන්න මොකුත් බොහෝ දෙනෙකුට නෑ. එතකොට ගෙවතු වගාව පිළිබඳ අදහස ඔලුවට දැම්මම; ඉතින් මේක නේන්නම්, මේක තමයි කරන්න ඕන දේ. රට ගොඩනගන්න රටේ ආර්ථිකය නංවන්න, මේක තමයි වෙන්න ඕන දේ වගේ මතයක් සමාජය පුරා පැතිරෙන්න පටන් ගත්තා. ඒකට බොහොම  පොහොර දැමීමකුත් කළා –  මම හිතන්නෙ මාධ්‍යවලින්. අපිට ජයගන්න පුලුවන්, කොරෝනාවලට අපිට රටක් හැටියට මුහුණ දෙන්න පුලුවන්, සෞභාග්‍ය දැක්මක් එක්ක අරගෙන ආපු කතන්දරයක් තිබුණා. ඉතින් මේ කතාව පොඩි විමසීමකට ලක්කරන්නයි අපි අද අපේක්ෂා කරන්නෙ.

මම හිතන්නෙ කොරෝනාත් එක්ක ආපු රැලි ගණනාවක් ම තිබුණා. එකක් තමයි රතන සූත්‍රය කියන එක. පිරිත් කියන එක. මේ පිරිත් කියන එක හරහා කොරෝනාවට මුහුණ දෙන්න පුලුවන් හැඟීමක් ආවා. අපේ පන්සලෙත් රථ දෙකක නැගිලා එක රථයක නිවේදනයක් කරමින් ගියා , එක රථයක පිරිත් පැන් ඇතුව හාමුදුරුවරු වඩම්මනවා ගෙවල්වලට ගිහිල්ලා පිරිත් නූල් බඳින්න, පිරිත් පැන් ලබාදෙන්න එහෙම එකක් තිබුණා. රතන සූත්‍රය හා පිරිත් දේශනා කොච්චර දුරට ගියාද කියනව නම්, අහස් යානා වල නැඟිලා ඒ පිරිත් පැන් ලංකාව පුරා බෙදා හරින්න වගේ දෙවල්, ඒකත් මේ ගෙවතු වගාව වගේ ම රැල්ලක්. මේක පිටිපස්සෙ තිබිච්ච මානසිකත්වය අපි වෙන ම විමසිල්ලට ලක්කරන්න ඕන එකක්. මේ රැලි දෙක ම එක්තරා දුරකට අඩුවෙමින් පවතිනවා – මේ වෙනකොට. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේකත් එක්ක ඇති කරපු චින්තනය තවදුරටත් තියෙනව. ඒක තමයි අපි වඩාත් ම විමසිල්ලට ලක්කරන්න ඕනැ කාරණය. පිරිත්පැන් කතාව කොච්චර දුරට නැගලා ගියාද කියනව නම්, මෑතකදි මම දැක්කා පිරිත්පැන් බෝතල් කරලා කඩවල්වල විකුණන්න තියෙනව. ඒ මට්ටමට මේක ගියා ඒක තමයි මේකෙ තියෙන භයානකත්වය. මේ රැලිවල තියෙන භයානකත්වය. ඒක නිසා තමයි මේක විමසිල්ලට ලක්කරන්න ඕනැ.

ගෙවතු වගාව හෝබී එකක් හැටියට, පාර්ට් ටයිම් එකක් හැටියට, නිනෝදාංශයක් හැටියට කරන එකේ ලොකු අවුලක් නෑ. කෙනෙක් නිකම් ඉන්නව නම්, විශ්‍රාම අරන් ඉන්නව නම්, ඔහුට ඕන තරම් වෙලා තියෙනව නම්, ගෙවතු වගා කරන එකේ දරුණු හානියක් නැහැ . හැබැයි, ප්‍රශ්න තියෙන්නෙ ගෙවතු වගාව ආර්ථිකය ගෙනියන එකේ ප්‍රධාන ක්‍රමයක්  හැටියට යෝජනා කරනකොට එතන ගැටලුවක් තියෙනව.

 අපි නයාගෙ වැරදි කොනින් අල්ලගන්නව. එතකොට අපිට දෂ්ඨ කරන එක තමයි තියෙන්නෙ. මේ අනතුර අපි විමසිල්ලට ලක්කරන්න ඕනෑ – පැහැදිලිව ම අන්න ඒ හේතුව නිසා. ලෝකේ දියුණු වෙනකොට ස්පෙෂලයිෂේසන් කියලා එකක් ඇති වුණා. අපි හැමෝ ම අපිට කන්න ඕනැ ඒවා වවන්නෙ නෑ. ටිකදෙනෙක් කන්න ඕනැ ඒවා වවනව. ඉතිරි  අය වෙන වෙන දේවල් හදනවා. ඊට පස්සෙ හුවමාරු කරගන්නවා වෙළඳපොළක් පොළක් තියනව. ඒක ඇතුළෙ හුවමාරු කරගන්නව. ඒක තමයි ස්පෙෂලයිෂේසන් කියලා කියන්නෙ.

ඉතින් මේ ගෙවතු වගාව කියන එක ස්පෙෂලයිෂේසන් කියන එකට විරුද්ධව යනව. අමරදේවත්, අයිස්ටයිනුත් තමන්ට ඕන කරන ඒවා වවා ගන්න ඕන කියන තැනට එනව නම් මොකක්ද එතන තියෙන කාරණය. මම කියන්නෙ මේක විහිළුවක් නෙමෙයි. කාම්බෝජයේ පොල්පොට් පාලනය ඇතුළෙ මේක තමයි කෙරුවෙ. ඔවුන් කිව්වා, අපිට බුද්ධිමතුන් අවශ්‍ය නෑ. අපිට ඕනැ කන්න බොන්න දේයි, අල්පේඡ්ඡ ජීවිතයක් ගත කරන්න ඒකට අවශ්‍ය දේයි ඕනැ. හැමෝ ම කණ්ණාඩි දාපු අය උදලු ගන්න ඕනැ. යන්න ඕනැ. එහෙම කරන්න බැරිවෙච්ච අය, කොටන්න බැරිවෙච්ච අය, ගම්වලට ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙන්න බැරිවෙච්ච අය මැරුණා. ලක්ෂ ගණනින් මරළා දැම්මා. මෙන්න මේක තමයි දැන් කතාව. ඒ නිසා ම අපි පරිස්සම් වෙන්න ඕනැ මේ වගේ සංවාදයන් යනකොට, මේ වගේ රැලි යනකොට, මේ රැල්ලත් එක්ක අපි ගහගෙන යන්න ඉඩ තියෙනව. අන්න ඒ අවබෝධය ඇතුව මේ රැල්ලට මුහුණ දෙන්න ඕනැ.

අපි කෘෂි ආර්ථිකයක් කියලා කියනව නෙ. මේ කෘෂි ආර්ථිකයේ දිග පළල මොකක්ද? ලංකාවෙ මිනිස්සුන්ගෙන් 30%ක් මේකෙ යෙදිලා ඉන්නව. හැබැයි අපේ ආර්ථකයෙන් 4%ක් තමයි කෘෂිකර්මයෙන් ලැබෙන්නෙ. මේක තමයි කතාව. 30%ක් එකතු වෙලා 4%ක් නිෂ්පාදනය කරන ආර්ථිකයක් ගැනයි මේ අපි කතාකරන්නෙ. මේ ආර්ථිකයෙන් පුලුවන්ද මේ රට ගොඩ එන්න. ඒක ඇතුළෙ තමයි මේ ගෙවතු වගාව දාන්නෙ. ඒ නිසා ම මේ ගැන වෙනම බලන්න වෙනව. මේ කෘෂිකර්මයේ දී බොහෝ දෙනා කරන්නෙ තමන්ට කන්න දේවල් හදාගන්න එක. තමන්ට යැපෙන්න දේවල් හදාගන්න එක. ඊට අමතර දෙයක් තමයි ඒ ගොල්ල විකුණන්නෙ. ඒක තමයි ඊළඟ ප්‍රශ්නය. ඉතින් ඒ නිසා මේ අයට දොස් කියන්න බෑ. මොකද, මේ ගොල්ලන්නට රැකියාවක්  ගන්න බෑ. ඒ නිසා මේ ගොල්ලන්නට වවන්න සිද්ධ වෙලා තියෙනව. ඒක ඇතුළෙ මොනවද තව සිද්ධ වෙලා තියෙන්නෙ. ඒක ගැන අපි විශේෂයෙන් හොයන්නට ඕනැ.

දැන් අපි සංසන්දනය කරලා බලමු. ඇමරිකාවෙ ගොවියො 2%ක් අපි 30%ක් 4%ක් හදනකොට ඒ ගොල්ලන්ගෙ 2%ක් ආර්ථිකයෙන් ලොකු ප්‍රමාණයක් හදනව විතරක් නෙමෙයි, මුළු ඇමරිකාවට ම කන්න දීලා පිටරටවලටත් විකුණන්නවා. තිරිඟු පිටි වගේ ඒවා අපිට එන්නෙත් ඇමරිකාවෙන්. මේ විදිහට ලොකු දෙයක් කරනව. 2%ක් අය. ඒ කොහොමද කරන්නෙ. මහා පරිමාණ නිෂ්පාදනයකින්. එතකොට ඒ ගොල්ල පුංචි ඉඩම්වල ඉඳලා මැකනයිස් කරපු ඒවට යද්දි. අපි කතා කරන්නෙ මොකක්ද? ගෙවත්තට සීමාවෙන වගාවක් ගැන. එහෙම කරලා කෘෂි ආර්ථිකයක් ගොඩනගන එක ගැන. මෙන්න මේකයි මෙතන තියෙන  ගැටළුව. අපි ආපස්සට යන්න හදන එකක් මේක ඇතුළෙ තියෙනව. අපි තේරුම් ගන්න ඕනෙ ප්‍රධාන කාරණය ඒකයි.

ඊළඟට බලමු මේ කෘෂි ආර්ථිකය නිසා ලංකාවට ඇතිවෙලා තියෙන අතුරු විපාක මොනවද කියලා, මීට අවුරුදු හැත්තෑවකට අසූවකට ඉස්සර වෙලා 70%ක් වෙලා තිබුණු වනගහනය මේ වෙනකොට 25%කට අඩුවෙලා තියෙනව. ඒ කියන්නෙ අපි කැලෑ සියල්ල ම ආක්‍රමණය කරලා තියෙනව. මේ කැලෑ අක්‍රමණය කිරීම ඇතුළෙ අපි වන සතුන්ව අතරමං කරල තියෙනව. අලි ගම්මාන වලට එනවා. අලි මිනිස් ගැටුම ඉතා ප්‍රබල විදිහට තේරෙනව. අපි වැටවල් ගහල තියන්න හැදුවට ඒවා කඩාගෙන එනව. අලි වැලැක්කුවට මදි. වඳුරෝ ඉන්නවා. වල් ඌරෝ ඉන්නව, දඬු ලේන්නු ඉන්නව, මොනරුඉන්නව. මොනරු දැන් කොළඹටත් ඇවිල්ලා ඉන්නෙ. මේ කැලෑ එලිකිරීමත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මේ කෘෂි ආර්ථිකය එක්ස්ප්ලෑන් කරන්න මේ විදිහට පුලුවන්ද? නැවත හිතා බලන්න වෙනව.

ඇයි මිනිස්සු මෙහෙම කැලෑ එලිකරගෙන යන්නෙ? මම අර කිව්ව විදිහට මිනිස්සුන්ට කන්න දෙයක් නැත්නම්, වෙන රස්සාවක් නැත්නම්, අඩුගානෙ කන්න දේ හදාගෙන හරි ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නෙ ගමේ ආර්ථිකය මිනිස්සුන්ට ඕන දේවල් හදන්නෙ නෑ. ඒ නිසා මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනව අද පිටරට රැකියා සොයාගෙන යන්න. අද ගත්තොත් ලංකාවෙ ජනගහනයෙන් 24%ක් ඉන්නෙ වෙනත් රටවල රැකියා කරමින්. ඉතින් ඒක තමයි අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය. අපිට තවදුරටත් ගම එක්ස්පෑන් කරන්න බැරි නිසා ඒක විකාශය කරන්න බැරිවුණ නිසා වෙච්ච අතුරු ප්‍රතිඵලයක් මේක. එහෙම තත්ත්වයක් තුළ තමයි අපි මේ ගෙවතු වගාව ගැන කතා කරන්නෙ. ඉතින් අපි ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙනවා ගෙවතු වගාව ද ඇත්තටම මේකට විසඳුම? අපි මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න ඕනෙ කියලා කතා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *