රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ නොසිටියා නම් !

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා නිසා නොවන්නට, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදාට ගැසට් කිරීමට ඉඩ තිබිණ.

පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වෙන බවට සඳහන් වූ මෙම ගැසට් කෙටුම්පත, අනුමැතිය සදහා පසුගිය සදුදා මැතිවරණ කොමිසම් කාර්යාලයේදී හූල් අතට භාරදෙනු ලැබිණ. ඔහු අතට මෙම ගැසට් කෙටුම්පත පත්කෙරුණේ කොමිසමේ අනෙක් සාමාජිකයා වන නලීන් අබේසේකර මහතා ඒ වන විටත් එයට අනුමැතිය ලබා දී තිබූ අවස්ථාවකය. එය කියැවූ හූල් මහතා..

“මෙතන තිබෙන්නේ අප එකගවූ දිනය නොවේ” යැයි පැවසුවේය.

ගැසට් කෙටුම්පතට තමා අනුමැතිය ලබාදෙන බවට අත්සන යෙදා තිබෙන්නේ වැරදීමකින් බව අබේසේකර මහතාද වටහාගත්තේ එවිටය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ගිය දෙදෙන, ගැසට් කෙටුම්පතේ සදහන් දිනය වැරදි බව පෙන්වාදුන්හ.

කෝවිඞ්-19 ආසාදිතයන් ප්‍රමාණයේ ඉහළ යාමක් දක්නට තිබෙන හෙයින් එදින, එනම් මැයි මස 28 වැනි දින, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම උගහටය. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ආසාදිතයන් හුදකලා කිරීම, ඔවුන් හා ගැවසී තිබෙන පුද්ගලයින් හදුනාගැනීම සහ ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම යනාදිය සක්‍රීයව කෙරෙමින් පවතී. ගැසට් කෙටුම්පතේ වැරදි දිනයක් සටහන්ව තිබීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙන සාකච්ඡා කළ අතර පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වෙන බවට සඳහන් වූ නව ගැසට් කෙටුම්පතක් සදුදා සන්ධ්‍යාවේ නිකුත් කෙරිණ.

නියමිත දිනයේ, එනම් ජූනි 20 වැනි දින, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වුවද රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම මත සම්පූර්ණයෙන්ම රදා පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම, පවත්නා තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු නොවන්නේ නම් මැතිවරණ කොමිසමට ඒ සදහා වෙනත් දිනයක් නියම කිරීමට සිදුවනු ඇති බව සභාපති දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ පසුගිය සදුදා පැවැති රැස්වීමේ දී, හූල් සහ ඔහුගේ සගයා වන නලින් අබේසේකර දෙදෙනාම මැතිවරණය මැයි මස පැවැත්වීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළකළහ. මෙම රැස්වීමට ප්‍රථම හූල් මහතා, දේශප්‍රිය මහතා වෙත ලිපියක්ද යොමුකර තිබිණ. දේශප්‍රිය මහතාගේ කෝපයට හේතුවෙමින් එම ලිපිය මාධ්‍ය වෙතද නිකුත් කර තිබූ අතර මින් පෙර අවස්ථාවක ඔහු ජනපති ලේකම්වරයා වෙත යැවූ ලිපි දෙකක් මේ ආකාරයෙන්ම මාධ්‍ය නිකුත් කැරුණු බවද සිහිපත් කළ යුතුය.

රැස්වීමට පෙරාතුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සිය අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් හූල් මහතා මෙසේ පැවසුවේ ය.

“මැතිවරණ කොමිසම තීරණයක් ගනු ඇතිය යැයි කියමින්ම, මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වෙන බවට අපට සිතාගන්නට සළස්වන්නට ඇතැම් පාර්ශවවලට වුවමනාවී තිබේ. මැයි මස 28 වැනිදා මැතිවරණය පැවැත්වෙන තැනට එකග කරවාගැනීම සදහා මැතිවරණ කොමිසමේ අත අඹරවන්නට ඉහළ පෙලේ උපදේශකයින් කිහිපදෙනෙක්ම ඉතාම සැළකිලිමත්ව තෝරාගෙනත් ඇත. නමුත් උපදේශකයන් තෝරාගැනීම වැනි ඉතාම වැදගත් තීරණයක් ගැනීම සහ එකඟවීම සදහා සපුරාලිය යුතු ව්‍යවස්ථාමය නියමයක් පවතින බව, එනම් අප තිදෙනගේම ඝණ පූර්ණය පැවතිය යුතුය යන්න සදහන් කරමින්ම, මගේ සහභාගීත්වය ඇතිව මෙම උපදේශකයින් තෝරාගැනීම සහ ඔවුන්ගේ උපදේශනය ලබාගැනෙන්නේ කවර කාරණා ද, යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කිසිදු රැස්වීමක් නොපැවැත්වුණු බවද සදහන් කළ යුතුය.”

මැතිවරණය සදහා දින නියම කිරීමෙන් වළකින්නැයි දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. වසංගත තත්ත්වයක් මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණයක ස්වරූපයෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඔව්හු පැවසූහ.

පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධාය මේ අරබයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් විය.

ආරක්ෂිත යැයි දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් පවසන තෙක්, වර්තමානයේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම ඉතාම අනතුරුදායක සහ වගකීම් විරහිත කටයුත්තකි. මෙම කාරණය සම්බන්ධයෙන් පෙනී සිටින පාර්ශවයන් සහ පිරිස් එය අධිකරණය හමුවට රැගෙන යනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවසුවේ ය.

එහෙයින්ම, මැතිවරණය සදහා දින නියම කැරුණු නිවේදනයක් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙයට පෙර ප්‍රකාශ නිකුත් කර තිබූ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගද දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ ඔස්සේ සම මතයකට පැමිණුනේය. මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සහ රිෂාඞ් බදුර්දීන් මහතාගේ සිලෝන ජනතා කොංග්‍රසයේ මතයන්ද මේ හා සමාන විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරෙන්නට රටේ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවල පාහේ නියෝජිතයන් සිටිනේ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්නොකළ යුතුය යන මතයේය.

මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීම සදහා පොදු අවබෝධයක් ඇතිකරගනු වස් ඔව්හු මේ වන විට එකිනෙකාගෙන් අදහස් විමසමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් මහතා මේ අරබයා පෙරමුණ ගෙන සිටින අතර, සියලුදෙනාගේ එකඟතාවය යටතේ සියලු පාර්ශ්වයන් එක්ව කරන ඉල්ලීමක කෙටුම්පතක් ඔහු සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වෙත යොමුකර ඇත. එහි පිටපතක් ජනතා විමුක්ති පෙරමුණ වෙතද ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින එයින් අතිරේක අරමුදල් සපයාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදෙන බවද සහතික කරයි. මෙම ඉල්ලීම පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමේ මාර්ගයට යොමුවන්නට පෙර කරන පරීක්ෂණයක් ලෙස එක් ආරංචි මාර්ගයක් හැදින්වූයේය. තමන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කැරුණු බව මෙහිදී ඔවුන්ට කිව හැකිය. විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙසේ කටයුතු කරමින් සිටියේ පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව තර කිරීමට යුද හමුදා සාමාජිකයන් යෙදවුණු අතරවාරයේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය 26 වැනිදා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට මෙසේ පැවසුවේ ය.

“ජූනි මස 20 වැනිදා මැතිවරණය පවත්වනවාට අපි විරුද්ධයි. අපට සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට බැහැ. මේක මැතිවරණ පැවැත්විය යුතු වේලාවක් නොව ජනතාවගේ සුභසාධනය ගැන සොයා බැලිය යුතු වේලාවක්” යයි ඔහු කීවේය.

උද්ගතව තිබෙන තත්ත්වය අරබයා ව්‍යවස්ථාමය ගැටලු කිහිපයක්ම පැන නැගී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් නෛතික උපදේශනයන් ලබාගැනීමට සන්ධානය කටයුතු කරමින් සිටින බව ඔහු කීවේ ය. සමගි ජනබලවේගයේ දේශපාලන පක්ෂවල නායකයින්ට රැස්වීමක් පැවැත්වීම සදහා අවස්ථාවක් නුදුන්නේයැයි මද්දුමබණ්ඩාර පොලිස්පතිවරයාටද චෝදනා කළේ ය. ඔහු එසේ කළේ දැනට ක්‍රියාත්මක කර තිබෙන මේ ඇදිරි නීතිය ඇත්තටම නීත්‍යානුකූළ නොවන සහ හදිසි නීතිය පනවා නොමැති තත්ත්වයක පවතින්නක් බවද වැඩිදුරටත් අවධාරණය කරමිනි.

පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් නොකරන්නේ නම් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තර්ක කළේය. ඔවුන් පත්ව තිබෙන්නේද විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව හරහාය.

“පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවක් අපි කියන්නේ නැහැ. එය ජනපතිවරයා තීරණය කළ යුතු දෙයක්. ඔහුට එය කරන්නට බැරි නම් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය නොමැතිවයි ඔහු කටයුතු කළ යුතුව තිබෙන්නේ. කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙන වාතාවරණයක කඩිනම් මැතිවරණයක් පවත්වනවාට අපි විරුද්ධයි” යයි අනුර කුමාර දිසානායක කීවේය.

ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පසුගියදා පැවැති අතර, එහිදී ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුවනු ඇතියැයි බොහෝ දෙනෙක් මත පළකළහ. පසුගිය බ්‍රහස්පතින්දා එම රැස්වීම පැවැත්වුණේ කතානායක නිල නිවසේදීය. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි අදහස් දැක්වීමක් සිදුනොවිණ.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පමණක් හඬ අවදි කරමින්, පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහුට නියෝග කළහොත්, තමාට කිරීමට සිදුවන දේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය. ඔහු එසේ කළේ ඇතැම් පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සැළකිල්ලට ගෙනය. නමුත් එම සාකච්ඡාව කරූ ජයසූරිය මහතාගේ අදහස් දැක්වීමට පමණක් සීමා විය. තවත් අවස්ථාවක ඔහු තවමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාදැයි විමසා සිටි විට එසේ නොවන බවට ජයසූරිය මහතා පිළිතුරු දුන්නේය.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වන සුමන්තිරන් මහතා වෙනත් තැනක පවසා තිබුණේ නව කතානායවරයකු පත්වන තෙක් එම ධූරයේ කටයුතු කිරීමට ජයසූරියට හැකියාව තිබෙන බවය.

මාරාන්තික කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. අගමැතිවරයා ඔහුට පිළිතුරු දෙමින් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බව පැවසුවේ ය.

කොළඹ, පුත්තලම සහ කලුතර යන දිස්ත්‍රික්කයන් ඉතාම සමීපව අධ්‍යනය කෙරෙමින් පවතින බව සදහන් කළ අගමැති රාජපක්ෂ මහතා, නිරෝධායනය සදහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ එම වෙළෙන්දාට කොරෝනා වැළදී නොමැති බව තහවුරුව ඇතැයිද පෙන්වා දුන්නේය. ආසාදිතයෙක් යැයි සැක කැරුණු පෑලියගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක් ගැනද ඇතිකරගෙන තිබී ඇත්තේ අනවශ්‍ය බියක්යැයිද තහවුරුව ඇත. කොරෝනා ආසාදිතයන් ගණනාවක් හමුවූ බණ්ඩාරනායක මාවත ප්‍රදේශය සම්බන්ධයෙන්ද අගමැති රාජපක්ෂ මහතා රත්නායකට කරුණු පැහැදිලි කළේය.

පොලිස් සේවයේ ස්ථානමාරු කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කැරුණු අවස්ථාවේ එය පොලිස් කොමිසමට අයත් කාර්යයක් බව රාජපක්ෂ මහතා පැවසුවේය. ව්‍යවස්ථා සභා රැස්වීමේ සභාපතිවරයා ලෙස ජයසූරිය මහතා කටයුතු කළේය. හානිපූර්ණ කමිටුවක් පත්කිරීම ආරක්ෂක අමාත්‍යංශයට යොමු කෙරිණ. ඒ, සිවිල් සමාජ සංවිධානවල අදහස්ද,ලබාගෙන එය සිදුකිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවන පරිදිය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් දින නියම කිරීමට එරෙහිව විවිධ දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ අරමුණු දෙකක් පෙරදැරිවයැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ අදහසයි. ඔවුන්ට අනුව ඉන් එකක් වන්නේ පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසට රජයට පීඩනය එල්ල කිරීමය. එසේ කළහොත් මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මස 25 වැනිදා මැතිවරණය පවත්වන බවට ජනපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය වහාම අවලංගු වේ. ව්‍යවස්ථානුකූලව ජූනි මස 2 වැනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීම ඒ වන විට කල් ඉකුත්ව ගොස් තිබෙනු ඇති හෙයින් අලුතින් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සළසාගැනීම දෙවැන්නයි. මේ අතරවාරයේ, පැරණි දේශපාලන සබදතා නැවත පණ ගැන්වීම සඳහා තිරය පසුපස සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද සදහන් කිරීම මනාය.

අනෙක් අතට රටේ තත්ත්වය ස්ථාවර වන තෙක් මැතිවරණයන් කල්දැමිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ තර්ක කරයි. ඔවුන් මතුකරන තවත් කාරණාවක් වන්නේ අරමුදල් යොදාගැනීම වෙනුවෙන් වන අවසරයක් පාර්ලිමේන්තුවෙන් ලබාදී නොමැති බැවින් අප්‍රේල් මස 30 වැනිදාට පසු මහජන මුදල් භාවිතා කිරීමට රජයට කිසිදු අවසරයක් නොමැති බවය. එවැනි අවසරයක් ලබාගත හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවා තමන්ගේ සහායද ලබාගෙන යැයි ඔව්හු පෙන්වා දෙති.

ගැටළුව වන්නේ අරමුදල් යොදාගැනීම සදහා රජය ඉදිරිපත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුවහොත් සිදුවනු ඇත්තේ කුමක්ද යන්නය.

අගමැති රාජපක්ෂ මහතා පසුගිය 26 වැනිදා ‘ ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට මෙසේ පැවසුවේ ය.

“මැතිවරණ සදහා දින නියම කිරීම අපේ රාජකාරිය නොවෙයි.එය මැතිවරණ කොමිසම අත තිබෙන දෙයක්. ඔවුන් තමයි තීරණය කළ යුත්තේ. දිනයක් තෝරාගැනුණු පසුව ජනපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත්කරාවි. අපේ ස්ථාවර ඒකයි” යයි අගමැතිවරයා කීවේය.

අගමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් පැහැදිළි වන්නේ පාර්ලිමේන්තුව නැවත කැදවීමක් සිදුනොවන බවයි.

ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි

සැකසුම : කෝවිද ගුණසේකර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *