‘හිරු’ හා ‘අද දෙරණ’ TV අනවසරයෙන් ගෙවල්වලට කඩා වැදීමෙන් සියලු මාධ්‍යවේදීන්ට දොරගුළු වැසේ!

messenger sharing button

කෝවිඩ් 19 වෛරසයෙන් ආසාදිත වූ බවට සැක කෙරෙන පුද්ගලයකුගේ නිවහනට අනවසරයෙන් ඇතුල් වී පවුලේ සාමාජිකයන් මහත් සන්තාපයට පත් කිරීමෙන් මාධ්‍ය ආචාර ධර්ම කඩ කළ බවට ට චෝදනා ලබන ‘හිරු’

WhatsApp Image 2020 05 11 at 8.30.55 PM 1

හා ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකා නිසා අනිකුත් මාධ්‍යවේදීන්ටත් වැලිගම නගර සභා බල ප්‍රදේශය තුල වාර්තාකරණයට තහංචියක් පැනවී තිබේ.  

‘හිරු’  හා ‘අද දෙරණ’ නාලිකා ප්‍රධානින් වෙත  ලිපි යොමු කරමින් වැලිගම නගර සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ, සිය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිත යැයි සැක කරනු ලැබූ පුද්ගලයකු ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරමින් එම නාලිකා දෙක කටයුතු කර ඇති බවයි.

එම මාධ්‍ය ආයතනවලට අයත් පුද්ගලයින් විසින් වැලිගම නව වීදි‍යේ කොවිඩ් 19 ආසාදිත යැයි සැක කළ පුද්ගලයකුගේ ඡායාරූප හා වීඩියෝ පට අනවසරයෙන් ඇතුල් වී ලබාගෙන ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු මාධ්‍යවේදීන් සඳහා තහනමක් පැමිණවීමට පියවර බව නගරාධිපතිවරයා පවසයි.

“කෝවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයකුගේ පෞද්ගලික ස්ථානයන්ට අනවසරයෙන් ඇතුල් වීම 1987 (255) නගර සභා පනතේ 04 වන වගන්තිය යටතේ මට පැවරී ඇති බලය ප්‍රකාරව,  සියලු මාධ්‍ය වේදීන්ට තහනම් කරමි,” යි වැලිගම නගරාධිපති රේහාන් ඩී. ඩබ්ලිව්. ජයවික්‍රම  ‘හිරු’ හා ‘අද දෙරණ’ නාලිකා ප්‍රධානින් වෙත යැවූ ලිපිවල සඳහන් වේ.

මෙම අනතුරු ඇගවීම් වලට අනුකූලව වැඩ නොකරන්නේ නම්, එම මාධ්‍ය ආයතනය දෙකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා පමණක් නොව, තමා  යටතේ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් හට සිය රාජකාරියට බාධා කිරීම යටතේ වෙනම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දෙන බවත් වැලිගම නගරාධිපතිවරයා දන්වා තිබේ.

එම රෝගියා කොවිඩ් 19 ආසාදනයෙන් නිදහස්ව ඇති මුත්, පවුලේ අනෙක් සාමාජිකයන්ට ඇතිවූ සමාජ අපකීර්තිය කම්පා සහගත හා සංවේගදායක බව ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

                           වැලිගම නගරාධිපති රේහාන් අදාල සිද්ධියට මැදිහත්වෙමින්…

නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය නොකළ යුතු බව කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් හදුන්වා දෙමින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබුනි.

ලංකාව ඇතුළුව මුළු ලෝකයම වසංගතය හේතුවෙන්  අවාසනාවන්ත තත්වයක් තුළ ගමන් කරමින් සිටියදී ලංකාව තුළ පමණක් රෝගීන්ට අපරාධකරුවන් ලෙස සළකන බව තමන්ට පෙනී ගියේයැයි සභාපති රේහාන් ඩී. ඩබ්ලිව්. ජයවික්‍රම  විසින් මැයි 8 දින යොමු කළ අදාළ ලිපිවල දැක්වේ.

” ඔබ ආයතනයේ සහ අනෙකුත් ආයතන වල මාධ්‍යවේදීන් විසින් සැක සහිත රෝගීන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කරමින් ඔවුන්ගේ පෞද්ගලික ස්ථාන වලට ඇතුලු වී, සමහර අවස්ථා වලදී ඔවුන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු නොවූ හඩ පට ලබාගනිමින් ගෙන ගිය ක්‍රියාමාර්ග මීට හේතුවූ බව මගේ විශ්වාසයයි.”

රට පුරා සිදුවන එවැනි සිදුවීම් දෙස  නොදැක්කා සේ, අප්‍රසන්නව බලා හිඳීමට සිදු වුවද, වැලිගම නගර සභාවේ ප්‍රධානියා ලෙස වැලිගම නගර සීමාව තුළ මෙවැනි ක්‍රියාවක් සිදුවීමට ඉඩ නොතබන බව ‘හිරු’ හා ‘අද දෙරණ’ නාලිකා ප්‍රධානීන්ට දන්වන වැලිගම නගර සභාවේ සභාපතිවරයා අවධාරණය කර ඇත්තේ.

රූපවාහිනී  සංඛ්‍යාත  යනු ශ්‍රී ලංකා සන්නිවේදන නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන පොදු දේපලක් බව අදාල නාලිකා දෙකට මතක් කර දෙන වැලිගම නගර සභාවේ සභාපතිවරයා සිය ලිපියේ පිටපත් කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ වෙතත් යොමු කර තිබේ.

මාර්ගෝපදේශ මොනවාද?

කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සහ නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ ජාතිය ඉස්මතු වන අයුරින් රූපවාහිනී නාලිකා  ප්‍රවෘත්ති පල කරන්නට පටන් ගැනීමත් සමග කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් දිවයිනේ ප්‍රධානතම සෞඛ්‍ය බලධාරියා විසින්  පසුගියදිනක හදුන්වා දී තිබුනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත යොමු කර තිබු  නිවේදනයක් මගින් ඉල්ලා තිබුනේ  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දී ඇති මාර්ගෝපදේශ පරිදි සෑම විටම කොවිඩ් 19 සම්බන්ධයෙන් වාර්තාකිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කළ යුතු අතර වෛරසය ආසාදිත පුද්ගලයන් “රෝගීන්” මිස අනෙක් අයට “රෝගය පතුරුවන පුද්ගලයන්” ලෙස හැදින්වීමෙන් වැළැකිය යුතුය.


”සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දී ඇති මාර්ගෝපදේශ පරිදි සෑම විටම කොවිඩ් 19 සම්බන්ධයෙන් වාර්තාකිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කළ යුතු අතර වෛරසය ආසාදිත පුද්ගලයන් “රෝගීන්” මිස අනෙක් අයට “රෝගය පතුරුවන පුද්ගලයන්” ලෙස හැදින්වීමෙන් වැළැකිය යුතුය.”

අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කරගෙන වාර්තාකරණයේ යෙදිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ලගික මත සමාජ ගත කිරීමේන් වැළැකිය යුතුය.

නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය නොකළ යුතුය.

මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කොට භාවිතය වඩාත් යෝග්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබේ.

ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටින විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා වෛරස් තත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටී.

කොරෝනා වසංගත තත්වයේදී එයට මුහුණ දීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සියළුම මාධ්‍ය මගින් ලබා දෙන විශාල සහාය සදහාද සිය ස්තුතිය පිරිනමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉහත සදහන් නිර්දේශයන්ගෙන් පරිබාහිරව වාර්තාකරණයේ යෙදීම තුලින් සිදුවන බරපතලම අගතිය ලෙස පෙන්වා දී ඇත්තේ රෝගය ආසාදිත පුද්ගලයන් කොන්වීමට ඇති බිය නිසා නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට ඉඩ ඇති බවයි.

THE LEADER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *