රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි.

රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා ය කියන්නේ කුමක් ද?

මට සිතෙන හැටියට රනිල් වික්‍රමසිංහට කියන්නට අවශ්‍යව තිබුණේ සාධාරණ කතාවකි. ඒ වනාහි මෙයයි. ලංකාවේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන තුන ම නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ලා අතිශය වැදගත් බවත්, තුනෙහි ම භාවිතාවන්ගේ වැරදි ඇති බව හා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු බවත් ය.

විශේෂයෙන් ම අධිකරණයෙහි හා පොලිසියෙහි අඩුපාඩු ඇති බවත්, ඒවා නිවැරදි කර ගත යුතු බවත්, මාධ්‍ය දේශපාලනික උවමනා වෙනුවෙන් ඒවා උලුප්පා නො දැක්විය යුතු බවත් ඔහු පැවසී ය.

මේ කතාව සම්පූර්ණයෙන් ම අවුල් ජාලයකි. කතාවෙහි දක්ෂයෝ හැම විට ම වැඩෙහි දක්ෂයෝ හෝ අවංක මිනිස්සු නො වෙති. කෙසේ වෙතත්, තමන්ට කියන්නට අවශ්‍ය දේ ජනතාවට තේරෙන පැහැදිලි ආකාරයකින් කීමෙහි වගකීමක් පාලකයන්ට තිබේ.

අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යනු මේ රටේ දූෂිත ම ආයතන යයි කියන්නට පුළුවන. අධිකරණය තුළ ම පගාව ගැනීම් සිදු වේ. සිර කූඩුවට නො දමා ඉන්නට හෝ කලින් දඩයක් ගෙවා වැරදිකරුවකු නිදහස් කිරීමට හෝ අවශ්‍ය ලේඛනයක් අධිකරණයෙන් ලබා දීමට හෝ රජයේ නිලධාරීන් පගා ගන්නේ නඩුකාරයන් ඉදිරිපිට ම ය. ඒ පොඩි පහේ ඒවා ය. විනිසුරුවරයෙක් පගාවක් ගන්නට ගෙදරකට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩි කලක් නැත. තත්වය එසේ වුණත්, ඈනුමක් අරින මිනිසුනුත් හිරේ යවන මානසික රෝගියෝත් මේවායේ සිටිති.

පොලිසිය හුරු වී තිබෙන්නේ සිවිල් ආයතනයක් ලෙස වැඩ කරන්නට නො වේ. ඇඹිලිපිටියේදී පොලිස් නිලධාරීහු තරුණයකු උඩු මහලකින් බිමට තල්ලු කළ බවට චෝදනාවට ලක් වෙති. එම සිද්ධිය ගැන කියවෙන කතා සියල්ල සැක කළත්, එකක් පැහැදිලි ය. පොලිසිය මෙතැනදී කර ඇත්තේ තමන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ මිනිසකු දැඩි ප්‍රචණ්ඩත්වයකට ලක් කිරීමයි.

මාධ්‍ය හුරු වී ඇත්තේ කුමකට ද? සෑම සිද්ධියක් ම තමන්ගේ හා තම ස්වාමීන්ගේ වානිජ හා දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන්නටයි.  රනිල් මතු කරන ප්‍රශ්නය සාධාරණ ය. ඇඹිලිපිටිය සිද්ධියේදී රජය, පොලිසිය දැඩිව විවේචනය කරන මාධ්‍ය හෝමාගම අධිකරණයේ ඥානසාර අඩව්ව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් ප්‍රතිපත්තියකි.

රනිල් මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිවාදය අවුස්සන්නට එපා කියා ය. ඒ වෙනුවෙන් ඔහු භාවිතා කළ වැරදි සන්නිවේදනය නිසා වැඩකට නැති කබ්බන් දෙතුන් දෙනෙක් මාර විදියට ෆෝම් වී සිටිති. ලංකාවේ විද්‍යුත් මාධ්‍යකරුවන් කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන, යූටියුබ්හි පළ වන වීඩියෝ තමන්ගේ ඒවා මෙන් අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නො දන්නා මිනිසුන්ට පෙන්වා පොරවල් වී සිටින  කට්ටියකි. ඔවුන් වෙනුවෙන් මාධ්‍යවේදීන් යන වචනය භාවිතා කළ විට වෘත්තීය පරිණතභාවයකින් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංග, සිවරාම් වැනි අයට භාවිතා කරන්නට වචනයක් නැත.

සේයා දැරියගේ මිනිය විකුණාගෙන කෑ මාධ්‍ය මෙම ඡායාරූපයේ සිටින දූෂණය කර මරා, ගලක් ගැට ගසා ළිඳක දමා තිබුණු, දර්ශන් කුගදාසන් නමැති සාම්පූර්හි පදිංචි මෙම දෙමළ දරුවා ගැන වාර්තා කළ ආකාරය විමසා බලන්න. මාධ්‍ය විසින් මේ දරුවා ගැන කිසිදු හැඟීමක් ඇති කළේ නැත්තේ ඇයි? හේතු පැහැදිලි ය. මෙම දරුවා පිරිමි ළමයකු නිසා එයින් කුණු රසය ඇවිස්සිය හැක්කේ පාඨකයන්ගෙන් සුළු පිරිසකගේ පමණි. අනෙක් පැත්තෙන් මේ දෙමළ දරුවෙකි.

කවුරු කුමක් කීවත්, අධිකරණය හා පොලිසිය පැත්තෙන් යම් ප්‍රගතියක් දක්නට ලැබේ. රජයේ නායකයකු ලෙස රනිල් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ඇත්තට ම සාධාරණ ය. හෝමාගම විනිසුරුවරයාට ඥානසාරවාදී ත්‍රස්තයන්ගේ ආගම්වාදී, ජාතිවාදී බලපෑමට යට නො වී සිටින්නට ශක්තිය තිබිණි. එසේම, 2015 ජනවාරි 8දා සිට මාධ්‍ය විසින් යක්ෂාරෝපණය කරන ලද සැකකරුවන් කිසිවෙක් ආයුධ පෙන්නන්නට ගොස් පළා යද්දී වෙඩි කෑවේ හෝ ගඟේ ගිලුණේ නැති බවත් අප නැවත මතක් කර ගන්නවා නම් හොඳ ය.

රජය මෙම ආයතනවලට බොහෝ දුරට ස්වාධීනව වැඩ කරන්නට ඉඩ දී තිබේ. ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන් ම නැති වී ඇතැයි අපි නො සිතමු. මෙම ආයතන මෙන් ම මේ රටේ ජනතාව ද එක හා සමාන අන්දමින් දූෂිත ය. දූෂිත ජනතාවක් සිටින තැනක දූෂිත නැති ආයතන බලාපොරොත්තු විය නො හැකි ය.

තරුණයකු පැහැරගෙන ගොස් අතට ම අසු වූ හිරුනිකාට සුටුස් ගා ඇප ලැබීම, පාස්පෝට් වංචා කළ විමල් වීරවංශට ඇප ලැබීම, ආගමන විගමන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුමාර් ගුනරත්නම්ට ඇප නො ලැබීම, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නො ගන්නා ලෙස නියෝග නිකුත් වීම ආදිය පසුපස ඇත්තේ දේශපාලන ඇඟිලිගැසීම් බව සිතන්නට පුළුවන. එහෙත්, කුහක නැතිව බලන ඕනෑම කෙනෙකුට පසුගිය වසරක කාලය තුළ කෙතරම් වෙනසක් සිදු වී තිබේ ද යන්න වටහා ගත හැකි ය.

විවේචනය අවශ්‍ය ය. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත්, විවේචකයන් නීතිය වෙනුවට ප්රවර්ධනය කරන්නේ ඥානසාර පන්නයේ අවනීතිය, ජාතිවාදය හා ත්‍රස්තවාදය නම් එතැන බරපතල ගැටලුවකි. රනිල් ප්‍රශ්න කරන්නේ එයයි.

රනිල් කළේ ඒ ගැන කතා කරන්නට ගොස් අහක ගිය කබ්බන් දෙතුන් දෙනෙක් ෆෝම් කිරීමයි. ආණ්ඩුවේ බොහෝ සන්නිවේදන කාර්යයන් මෙවැනි ය. රනිල් සංකේතවත් කළේ එයයි. ඔහු මෙවර කෙළවා ගන්නේ ඔහුගේ මෝඩ ජන සන්නිවේදන නඩය නිසා ය. ජනමාධ්‍ය හැසිරවීමේ සියුම් කාර්යයෙහිදී ඔවුහු අසාර්ථක ය.

මේ ජනමාධ්‍ය වැඩිපුර ම යැපෙන්නේ රාජ්‍ය අංශයේ දැන්වීම්වලිනි. එසේ ම, විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ පොදු හිමිකාරිත්වය යටතේ ඇති සංඛ්‍යාතයි. ඒවා පාලනය කරන රජයට එම සංඛ්‍යාත සම්බන්ධයෙන් අධිකාරියක් තිබේ. මහින්ද රාජපක්ෂ මේ සියල්ල ඉතා සියුම් ලෙස මෙන් ම, දැඩි අධිකාරිත්වකින් ද පාලනය කළේ ය. එය හරි නැති වුණත්, මාධ්‍ය වලිගයට බල්ලා නටවන්නට මහින්ද ඉඩ දුන්නේ නැත.

රනිල්ගේ ජනසන්නිවේදනකාරයෝ තමන්ගේ වැඩේ නො කරති. රනිල් ඔවුන්ගේ වැඩේ කරන්නට යන විට අපට මතක් වන්නේ බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාවයි.

අජිත් පැරකුම් ජයසිංහගේ w3lankas බ්ලොග් අඩවියෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *