තව සති දෙකක් යනතෙක් පොදු ප්‍රවාහන සේවා නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර

තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට උපදෙස් දී ඇතැයි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින එනම් හෙට දින සිට ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමග පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත.

ඒ් අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.. එම උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් ලබා දි තිබේ. රජය විසින් රට පෙර පැවැති තත්ත්වයට ගෙන ඒම හා කොවිඩ් 19 මර්දනය සඳහා ගෙන යන වැඩ පිලිවෙළ ශක්තිමත් කිරීමට නම් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම මහජනතාව මෙම අවස්ථාවේ දී ප්‍රවාහන සේවා විදිමත්ව පවත්වාගෙන සඳහා තම පූර්ණ සහයෝගය පළ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය විසින් හෙට දින රට නැවතත් විවෘත කරන්නේ සාමාන්‍ය ජනතාවට අනවශ්‍ය ගමන් බිමන් යාම සඳහා නොව රටේ ආර්ථිකය නංවා, ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික දරිද්‍රතාවය මග හරවා ගනිමින් ජන ජීවිතය සුඛිත මුදිත කිරීමේ අරමුණ පෙරදැරිව බව ඇමතිවරයා කියයි. එසේ නොමැතිව මහජනතාව වගකීමකින් තොරව කටයුත කළහොත් සිදුවන්නේ නැවතත් කොවිඩ් 19 වසංගතය හිස ඔසවා රටම තවත් මාස කිහිපයකට වසා තැබිමේ තත්ත්වය උද්ගත කර ගැනීමක් පමණක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත්  පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *