ජනාධිපති මෛත්‍රී විහින් දාගත් ලෙඩ – සී ජේ අමරතුංග

දැන් කතාව තියෙන්නේ අලූත් පක්‍ෂයක් හැදීම පිළිබඳවය. පෙනෙන ආකාරයට නම් එයට සියල්ල සූදානම් කරමින් පවතියි. දිස්ත‍්‍රික්කයෙන්, දිස්ත‍්‍රික්කයට පළාතෙන් පළාතට රැුස්වීම් තබමින් කියාගෙන යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සන්ධානයේ පහළ මට්ටමේ දේශපාලනඥයන් සූදානම් වන බවයි. පළාත් පාලන ආයතනවල ප‍්‍රධානින් ලෙස සිටි පිරිසක් මේ සඳහා පෙරමුණ ගනිමින් සිටින බව පෙනෙන්නට ඇත.

ඒ සමඟම තවත් පිරිසක් කියාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන්නට ඉඩ දිය නොහැකි බවයි. එක්සත්ව මැතිවරණයට තරග නොකළහොත් පරාජය නියත බව එම පිරිස කියන කතාවයි. ශ්‍රීලනිපය කඩන්නට හදනවා කියා මෙම පිරිස චෝදනා කරන්නේ එම පක්‍ෂයෙන් පිටත සිටින කුඩා පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුටය උදය ගම්මන්පිල, විමල් වීරවිංශ සහ දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන්ටය. එසේ වුවද ශ්‍රීලනිපයේද ප‍්‍රබල කණ්ඩායමක් එම කටයුත්තට උරදී සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි.

මෙම වැඩ පිළිවෙළට මුල් වී සිටින්නේ පාර්ලිමේන්තුවේ ඒ්කාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම් මෙහෙයුම් කරුවන් බව පැහැදිලිය. එසේ වුවද එම කණ්ඩායමේ ද මේ පිළිබඳව තනි මතයක් නැති බවද පැහැදිලිය. විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ පක්‍ෂය කැඞීම වරදක් බවයි. කොම්යුනිස්ට් සමසමාජ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ආදින්ගේ වමේ පෙරමුණේ පසුගිය පුවත්පත් සාකච්ඡුාවකදී ප‍්‍රකාශ වී තිබුණේ වෙනම පක්‍ෂ හැදීම් ගැන ඔවුන් නොදන්න බවයි. මෙම තත්ත්වයෙන් පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලනිපය කැඩුණොත් ඒ සමඟම ඒකාබද්ධ විපක්‍ෂයේ ද බෙදීමක් සිදුවිය හැකි බවයි.

පළාත් පාලන ආයතනවල හිටපු ප‍්‍රධානීන්  පුවත්පත් සාකච්ඡුාවල දී කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන්  ඕනෑම පෙරමුණකින් තරග කරන බවයි. මෙය දෙපැත්තට කැපෙන ප‍්‍රකාශයකි. ඒ තුළ එක පැත්තකින් ඇත්තේ ඉල්ලීමකි. එනම් පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ දී සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදිය යුතු බවයි. එසේ වන්නේ නම් මෙම පිරිස එම පෙරමුණෙන් තරග කිරීමට එකඟය.

එම ප‍්‍රකාශයෙන්ම අනෙක් පැත්තෙන් තිබෙන්නේ තර්ජනයකි. එය නම් හිටපු ජනාධිපතිවරයාට නායකත්වය නොදෙන්නේ නම් පක්‍ෂය කඩාගෙන වෙනම පක්‍ෂයක් හදන බවයි. එයට ද දැන් සියල්ල සූදානම්ය. දැන් සමහරුන් කතා කරන්නේ නායකයා පිළිබඳ ප‍්‍රශ්නය වැනි කාරණා පිළිබඳවය.

වෙනම පක්‍ෂ හැදීමට එකඟ නැතැයි කර ඇර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද මෑතකදී ඉඟිකොට තිබුණේ එවැන්නකට තමන් සූදානම් බවයි. එමෙන්ම ඒ සඳහා පැවැති ප‍්‍රාදේශීය සාකච්ඡුාවලට ඔහු සහභාගි වීය. එමෙන්ම පහළ මට්ටමේ සාමාජිකයන්ට වෙන්වීම සඳහා ශක්තිය සැපයීමට ද ක‍්‍රියා කොට ඇත.

මේ සියල්ල සිදුවන්නේ රටේ වෙනත් ක‍්‍රියාවලියන්ද හෙමින් සීරුවේ සිදුවෙමින් තිබියදීය. එය නම් පසුගිය රජයේ පාලක කාලයේදී සිදුවූ බව කියන ¥ෂණ, වංචා, මිනීමැරුම් ආදිය පිළිබඳ පරීක්‍ෂණ හා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමයි. රාජපක්‍ෂ පවුලේ උදවියට එරෙහිව පරීක්‍ෂණ ගණනාවක් ක‍්‍රියාත්මකය. ඇතැම් පරීක්‍ෂණ පවත්වන්නේ අවසන් අදියරේ බවද වාර්තාවීය. ඒ අනුව ඉන් සමහරුන් අත් අඩංගුවට ගැනීමට නියමිත බවද කියති. සමහරුන් කියන්නේ එම අත්අඩංගුවට ගැනීම් සිදු නොවන්නේ ඉහළම බලවතුන්ගෙන් ඔවුන්ට ආරක්‍ෂාව ලැබෙන නිසා බවයි.  කෙසේ වෙතත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා පසුගිය දා ප‍්‍රකාශ කොට තිබුණේ කොයි මොහොතේ හෝ සිරගත වන්නට තමා දැන් සූදානමින් සිටින බවයි.

නාමල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා හමුවේ කළ සාකච්ඡුාවක් පිළිබඳවද ඇතැම මාධ්‍ය වාර්තාකොට තිබිණි. තම පවුලේ සෑම සාමාජිකයකුටම අඩු තරමේ පරීක්‍ෂණ හයකට මුහුණදීමට සිදුව ඇති බව නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට ඇති බව ද වාර්තා වීය. එබඳු එක් පරීක්‍ෂණයක් සඳහා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ජනාධිපති කොමිසම හමුවට කැඳවා  තිබූ අතර ඇය ඒ සඳහා සති දෙකක් කල් ලබාගත් බවද ඊයේ පෙරේදා වාර්තා වීය.

ඒකාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම් බොහෝ දෙනෙකුට එරෙහිව විවිධ පරීක්‍ෂණ සිදුවෙමින් පවතින අතර ඇතැමුන්ට දැනටමත් නඩු පවරා ඇත. තවත්්්් නඩු රාශියක් ඉදිරියේදී පැවරීමට නියමිත බවටද ආරංචි පැතිර ඇත. එයද මෙම ප‍්‍රශ්නයේ එක පැත්තකි.

මෙම තත්ත්වය නිසා වෙනම පක්‍ෂයක් ගොඩ නැඟීමේ ක‍්‍රියාවලිය තුළද සැක සංකා මතු වී ඇති බවද වාර්තා වීය. එනම් මේ මහා ඝෝෂාවත් කරන්නේ වෙනත් ගනුදෙනුවක් සඳහා ද යන සැකයයි. පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් හා පළාත් සභා මන්ත‍්‍රී සහභාගි වූ රැුස්වීම් වලදී මෙම ප‍්‍රශ්නය ද මතුකළ බව වාර්තා වීය. එය එසේ නොවන බවට නායකයන් කෙතරම් සහතික දුන්න ද එම සහතික ගැන විශ්වාසය තැබිය හැකිද යන්න පවා ප‍්‍රශ්නයක් විය හැකිය. අපේ රටේ වැඩ කටයුතු සිදුවන්නේ එහෙමය.

මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂ ආණ්ඩු විරෝධය උත්සන්න කිරීමට ද කටයුතු කොට ඇති බව පෙනෙන්නට තිබේ. සමහරු උත්සාහ කළේ කළු කොඩි දමන්නටය. එබඳු මහජන විරෝධයක් නැති බව තේරුම් ගත් උදවිය කල්තියාම පසු බැස්සහ. එසේ වුවද විරෝධය ගොඩනැඟීමේ උත්සාහය අත හැරීයේ නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය උත්සාහය ද මේ විරෝධයට ගොදුරු වී ඇති බව පෙනෙන්නට තිබේ. ජනාධිපති ක‍්‍රමය අහෝසි කර හා නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදෙන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මේ රටේ සාකච්ඡුා කෙරෙන්නේ වසර විස්සක තිහක සිටය. එහෙත් දැන් විපක්‍ෂය අහන්නේ ආණ්ඩුවට තිබෙන හදිසිය මොකක්ද කියාය. විපක්‍ෂය ඉදිරිපත් කරන ඇතැම් කොන්දේසි වලින් පෙනෙන්නේ මෙය නොකරන වෙදකමක් කරන්නට පවතින සූදානමයි.

සංඝ කතිකාවක් නීතිගත කිරීම සඳහා ආණ්ඩුව ගෙනා යෝජනාවට විපක්‍ෂය බැට දුන්නේ මෙරට බුද්ධාගම විනාශ වන බව කියමිනි. එසේ වුවද එය මෙරට සංඝ සමාජයේ අදහස් අනුව වසර විස්සක තිහක සාකච්ඡුා කොට සකස් කර පසුගිය ආණ්ඩු කාලයේ කැබිනට් අනුමැතිය ලැබූ පනතකි. මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු මෙන්ම අනෙක් සංඝ නායකයන් වහන්සේලා මෙය තමන්ගේ වුවමනාවට ගෙනා පනතක් බව කීවද විපක්‍ෂය වැඬේ අතහරින බවක් පෙන්නට නැත. මහින්ද රාජපක්‍ෂ  මහතා කියා තිබෙන්නේ  මෙය සම්මත වුවහොත් කිසිවකු මහණ නොවන තත්ත්වයක් උදාවිය හැකි බවයි. උත්සාහය නම් ප‍්‍රබල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟීම බව පෙනෙන්නට ඇත.

මේ සියල්ලෙන් සිදුකොට තිබෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බිත්තියට හේත්තු කිරීමයි. එක් අතෙකින් ඔහුට දැන් තම පක්‍ෂයේම නායකත්වය රැුකගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් ඇත. අනෙක් අතට ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ ප‍්‍රශ්නය පැන නැඟී ඇත. එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රීලනිපය අතර සමගි සන්ධාන ආණ්ඩුවක් ගොඩනැඟීමේ අරමුණ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම ඇතුළු තීරණාත්මක ප‍්‍රශ්න විසදා ගැනීමයි. එසේ වුවද එම කාර්යයට ශ්‍රීලනිපයෙන් ඉටුවිය යුතු වගකීම ඉටුකිරීම මේ වන විට අභියෝගයට ලක්කොට ඇත.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවක් කිරීමේ යෝජනාව ගෙන ඇත්තේ එක දවසකින් සම්මත කරන්නටය. දැන් එය මසකින්වත් කරගත හැකිදැයි සැකයකි. එකම ප‍්‍රශ්නය ජනාධිපතිවරයාට තම පක්‍ෂයේ එකඟතාව ගත නොහැකි වීමයි. මෙම යෝජනාවට තත්ත්වය මෙය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක වඩා විවාදාත්මක කාරණා පිළිබඳව කතා කිරීම පවා විහිළුවක් විය හැකිය.

මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට ගත හැකි එක් පියවරක් වන්නේ පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ වගකීම මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදීමයි. එවිට ශ්‍රීලනිපය කැඞීමේ තර්ජනයෙන් ගලවාගත හැකිවීමට ඉඩ ඇත. එමෙන්ම එබඳු පියවරක් ගතහොත් වෙනත් පිරිසක් පක්‍ෂය හැරයාමේ ඉඩකඩ ද බැහැර කළ නොහැකිය. එමෙන්ම මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය බින්දුවට වැටෙන එක ද සිකුරුය. පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ මහතාගේ තීරණවල විපාකවලින් එම පාඩම ඉගෙන ගත හැකිය.
මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කරන්නට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉඩ ලබාදුන්නේ කිසිවකු නොසිතූ ආකාරයෙනි. ප‍්‍රතිඵලය වූයේ සිරිසේන මහතා සමග පක්‍ෂයෙන් එළියට බැස ඔහු සමග පැමිණි ප‍්‍රධාන සගයන් සියලූදෙනා ඔහු හැර ගොස් එජාපයට එකතුවීමයි. මැතිවරණයේදී සිරිසේන මහතාගේ අනෙක් හිතවතුන්ද පරාජය කිරීමට මහින්ද පිළ කටයුතු කළේය. ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ විට සිදුවූයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට විශාල ලෙස හානිවීමයි.

මේ මොහොතෙත් රාජපක්‍ෂ කණ්ඩායම ජනාධිපතිවරයාට එල්ල කර ඇති අභියෝගය මහ මැතිවරණයේ තත්ත්වයට සමානය. එක්කෝ නායකත්වය ලබාදීම නැතහොත් පක්‍ෂය කඩා වෙනම තරග කොට හයිය පෙන්වීමය. ප‍්‍රශ්නය තිබෙන්නේ් මේ අභියෝගයට මුහුණ දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් ද යන්නයි. එමෙන්ම එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙලෙස ද යන්නයි.

ජනාධිපතිවරයාටත්, රජයටත් එරෙහිව තවත් පැත්තකින් අභියෝග එල්ල වන බවද පසුගියදා වාර්තා වීය. එම අභියෝගය එල්ල කරන්නේ ජනාධිපතිවරණයේදී පෙළ ගැසුණු සිවිල් සංවිධාන විසිනි. ඔවුන්ගේ චෝදනාව නම් පසුගිය රජයේ ¥ෂිතයන්, මිනීමරුවන් ඇල්ලීමේ වැඩ සටහන මන්දගාමී වන බවයි. එමෙන්ම එහිදී විශේෂ අනුග‍්‍රහ දැක්වීම සිදුවන බවයි.  ඇතැම් ප‍්‍රභූන්ගෙන් කට උත්තර ගැනීමට නිලධාරීන් විශේෂ ස්ථානවලට හා නිවෙස්වලට යාමෙන් එම තත්ත්වයට සාක්‍ෂි සපයා ඇත.  ඇතැම් බරපතළ චෝදනා ලැබූවන් එක දිනකට හෝ රිමාන්ඞ්  භාරයට පත්වූයේ නැත. ඒ අතර චෝදනා ලැබූවන් හා රජයේ ප‍්‍රබලයන් අතර රහස් සාකච්ඡුා හා සම්මුති ඇතිවන බවද කියති. මෙයට එරෙහිව සංවිධානාත්මක වැඩ පිළිවෙළකට අවතීර්ණ වීමට සිවිල් සමාජ සංවිධාන පෙළ ගැසෙමින් සිටින බවද වාර්තා වීය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ගල්ලෙන බිඳගෙන සන්ධානයෙන් එළියට ආ රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග ඇමැතිවරුන්ද ජනාධිපතිවරයාට තම කලකිරීම ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා ඉක්මනින් මෙම තත්ත්වයට විසඳුම් ලබාදිය යුතු බවයි.

මෙලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද මුහුණ දී සිටින්නේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකටය. ඔහුට තිබෙන තෝරා ගැනීම් ද සීමිතය. ඇතැම් විට පෙනී යන්නේ තත්ත්වය මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වැනි බවය.

එක් අතෙකින් පෙනී යන්නේ මෙය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්ම දාගත් ලෙඩක් බවයි. පක්‍ෂයේ නායකත්වයට පත්වූ ඔහු එයට අභියෝග කරන්නට ඉඩදී තිබුණේ තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් බව පෙන්වන්නට මෙනි. එක් අතෙකින් එය හොඳ ලක්‍ෂණයකි. එසේ වුවද දේශපාලන පක්‍ෂයක් විනයගත කරගැනීමද නායකයකු සතු වගකීමකි. එහිදී නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන්නට තබා ගැනීම වරදකි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සිදුකරගෙන තිබෙන්නේ එබඳු වරදක් බව පෙනෙන්නට ඇත.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් සිවිල් සමාජ බලවේග අද චෝදනා කරන්නේ තමන්ට ජනවරම දුන් යහපාලන අරමුණු පසෙක තබා ඒ මහතා වෙනත් කාර්යයක් කරට ගෙන ඇති බවයි. එනම් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමයි. ඒ සඳහා යහපාලනයේ අරමුණුද පාවා දෙන්නට සිරිසේන මහතා ක‍්‍රියාකරන බවට චෝදනා නැගී ඇත.
හාවන් සමඟ දුවන ගමන් නරින් සමඟ දඩයමේ යනවා කියා කියමනක් ඇත. එය කරන්නට බැරි වැඩකි. ඇතැම් දක්‍ෂ කපටියෝ එසේ කරති. ඒත් එබඳු දෑ කළ හැක්කේ කෙටි කාලයකි. මෙම කතාවෙන් කියන්නේ එකිනෙකාට පරස්පර වැඩ එකවිට කරන්නට උත්සාහ දැරීම ගැනයි. ¥ෂිතයන්ට, මිනීමරුවන්ට දඬුවම් කොට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ යහපාලන අරමුණු හා එම ¥ෂිතයන් රැුක ගනිමින් ශ්‍රීලනිප ආණ්ඩු හැදීම එකවර කළ නොහැකිය. ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්නටත් එය පිරිසිදු කළ යුතුය. ඒ සඳහා මුලින් කළ යුතු වන්නේ යහපාලන අරමුණු ක‍්‍රියාවට නැඟීමය.

මේ එළඹ තිබෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම සතුරන් හා මිතුරන් පැහැදිලිව හඳුනාගත යුතු මොහොතකයි. ඔහු කෙළින්  සිටගත යුත්තේ තමන් සමග එකට සිටි මිතුරු බලවේග සමඟය. එසේ නොකළ හොත් එතුමාට සිදුවිය හැක්කේ අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් නැතිවන තත්ත්වයක් උදාවීමයි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *