මුදල් අමාත්‍යාංශ ලේකම් ළඟදීම ඉල්ලා අස්වන ලකුණු

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ආටිගල මහතාගේ නම සඳහන්ව තිබුණ ද මුදල් අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි මහතා විසින් වීම මීට මූලික හේතුව වී ඇති බව සඳහන්. 

2015 වසරේදී සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය චීන සමාගම් ප්‍රධානීන් ගණනාවක්ම පසුගිය මාස කිහිපයේදී යළි මෙරටට පැමිණ ඇති අතර ඔවුන් නිතරම මහමාර්ග අමාත්‍යාංශයේ ගැවසෙමින් සිටිනු ද දක්නට ලැබී තිබේ. චීන එක්සිම් බැංකුවෙන් ණය ලබාගෙන ඉටු කිරීමට සූදානම් කළ කොන්ත්‍රාතු ගණනාවක්ම ලහි ලහියේ ඇරඹීමට සූදානමින් පවතින අතර මේවායෙහි මූලික කොන්දේසිය වී ඇත්තේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම්වලටම පවරා දීමය. ඒවා ටෙන්ඩර් කැඳවීමකින් තොරවම චීන සමාගම් වෙත ලබාදීමට ද මහාමාර්ග අමාත්‍යාංශය දැනටමත් එකඟ වී ඇත. 

මේ කිසිදු සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාව සහභාගී කරවාගෙන නොමැති අතර ලේඛන සඳහා අත්සන් තැබීමට පමණක් ඒවා ඔහුට යොමු කෙරුණු අවස්ථාවේදී මෙම නීතිවිරෝධී ගනුදෙනු සඳහා අත්සන් තැබීම ඒ මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණු බව ද වාර්තා විය. 

කෙසේවෙතත් එහිදී පී.බී. ජයසුන්දර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එවන ලේඛන අත්සන් තැබීමට නොහැකි නම් තනතුරෙන් ද ඉවත්ව යන ලෙසත් එම තනතුරට පත්කිරීම සඳහා තමන්ට ඕනෑ තරම් පුද්ගලයින් සිටින බවත්ය. 

එසේම හිටපු මුදල් අමාත්‍යවරුන් වන මංගල සමරවීර මහතාට සහ රවී කරුණානායක මහතාට ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙන්නේ ආටිගල මහතා බවටත් ආටිගල යනු රවී කරුණානායක මහතාගේ ඥාතියකු බවටත් ජයසුන්දර මහතා තවත් චෝදනාවක් ද එල්ල කර ඇත.

මේ අතර ආටිගල මහතාගේ හිතවතුන් ද ඒ මහතාට පෙන්වා දී ඇත්තේ නීතිවිරෝධී ලෙස ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කිරීමට නියමිත ගනුදෙනු සඳහා අනුමැතිය ලබා දුනහොත් ආණ්ඩු පෙරළියක් සිදුවූ දිනෙක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙහි තපින්නට ඔහුට සිදුවීම අනිවාර්යය බවකි. 

ඒ අනුව ඉදිරියේදී ලැබෙන පළමු අවස්ථාවේදීම සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *