ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර පාර්ලිමේන්තුව යලි කැඳවයි ?

පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කොට තීන්දුවක් දීමට පෙර ජනාධිපති  ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව යලි කැඳවීමට ඉඩ ඇති බවට වාර්තා පලවෙමින් පවතියි.

එම වාර්තා සඳහන් කරන්නේ මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ ( 6 දා, බදාදා ) පැවති බවයි .

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පෙත්සම් ඉදිරියේ ආණ්ඩුවට ඇති අවාසිදායක තත්ත්වය ද මෙහි දී සාකච්ඡාවට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමක් අනුමත කරවාගෙන සභාවාරය කල් තැබීමට ඇති හැකියාව මෙන් ම අවශ්‍ය විටෙක නැවත විසුරුවා හැරීමට ඇති ඉඩකඩ ද මෙහි දී සැලකිල්ලට ගෙන ඇතැයි කියති.

පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් ගිණුම් සම්මත කර ගැනීමට සහ කොරෝනා මර්ධනයට අවශ්‍ය වෙනත් නීති සම්මත කර ගැනීමට  රජයට සහාය දෙන බව පාර්ලිමේන්තුවේ ජවිපෙ හැර විපක්ෂයේ අනෙක් පක්ෂ සියල්ල රජයට ලිඛිත සහතිකයක් පසුගිය දා ලබා දුන්නේය.

පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන්නේ නම් එය වඩා ඉක්මනින් කැඳවීම රජයට වඩා වාසිදායක බව ද මෙහි දී රජය සැලකිල්ලට ගෙන ඇතැයි කියති.

මේ පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කොට ඇති බවත් , දෙමළ ජාතික සන්ධානය මෙයට අතර මැදියකු  ලෙස ක්‍රියාකරන බවත් අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *