ඩැවෝස් ලෝක ආර්ථික සංසදයෙන් ශ්‍රී ලංකාව දීප්තිමත් ස්ථානයක් වනු ඇති බවට බලාපොරොත්තු – අජිත් පැරකුම් ජයසිංහ

අගමැති රනිල් වික්‍ර‍මසිංහ විශේෂ ආරාධනයක් මතස්විට්සර්ලන්තයේ ඩැවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයට සහභාගි වුණා. ලංකාවේ ආර්ථික අපේක්ෂා සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කරනසුළු මෙම සිදුවීම කෙරෙහි ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ලිපියේ අරමුණ ඩැවෝස් ගමනින් ශ්‍රී ලංකාවට ලැබුණු වාසි පිළිබ සාකච්ඡා කිරීමයි.

සංසදයට පෙර දිනයේ පැවති ස්විස් ආසියානු වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 100ක් පමණ පිරිසක් සහභාගි වූ විශේෂ හමුවකදී අගමැති රනිල් වික්‍ර‍මසිංහ දකුණු ආසියාවට හා ඉන් ඔබ්බට විහිදෙන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව පදනම් කර ගන්නැයි ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියා.

2016 වසර ලෝක ආර්ථිකයට දුෂ්කර වසරක් වුණත්, ලෝකයේ දීප්තිමත් ස්ථාන ඇති බවත්, ශ්‍රී ලංකාව ඒ අතරින් එකක් බවත් පැවසුවා.

ඔහු අලෙවි කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය හා දුර විහිදෙන දේශපාලන හා ආර්ථික ප්‍ර‍තිසංස්කරණ කරන්නට තිබෙන සූදානමයි.

ප්‍රතිසංස්කරණ මගින් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය හා යහපාලනය ස්ථාපිත කිරීමේ ප්‍ර‍ගතියත්, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ගනු ලැබ තිබෙන පියවරත්, ආයෝජකයන්ට ලබා දෙන්නට යන වඩා හොඳ පහසුකම් පිළිබඳවත් ඔහු කතා කළා.

අගමැතිවරයාගේ විශේෂ ප්‍ර‍වර්ධනයන් වුණේ පිහිටුවීමට නියමිත සංවර්ධනය සඳහා නියෝජිතායතනය, ජාත්‍යන්තර වෙළඳාම සඳහා නියෝජිතායතනය, කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතිය හා වරාය නගරයයි.

ශ්‍රී ලංකාවේ ප්‍ර‍තිපත්ති සැකැස්ම හා අදාළව දළ ආර්ථික විශ්ලේෂණයක් කරමින් ආයෝජන අවස්ථා පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. Belgium Camso-Loadstar සමාගමේ සභාපති Pierre Pringiersශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් විදේශ ආයෝජකයකුගේ පර්යාලෝකය හා තත්ව නිර්දේශයක් ඉදිරිපත් කළා.

අගමැති රනිල් වික්‍ර‍මසිංහ සමග සමුළුවට සහභාගි වූ නියෝජිත පිරිසට සංවර්ධන මූලෝපාය හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ඇමති මලික් සමරවික්‍ර‍, මුදල් ඇමති රවි කරුණානායක, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ ආදීන් ද ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසක නියෝජිතයෝ ද මෙම හමුවට හා පසු දින පැවැත්වුණ සුවිශේෂ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වුණා.

මෙම වැඩසටහන්වල අරමුණ වුණේ ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් දේශීය ආයෝජකයන් හා ජාත්‍යන්තර ආයෝජකයන් අතර අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමයි.

අගමැතිවරයා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් කිහිපපොළක් සමග ම ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූවා. ලෝක ආර්ථික සංසදය විසින් සංවිධානය කරන ලද පුවත්පත් සාකච්ඡාවකට ද ඔහු සහභාගි වුණා. ප්‍ර‍ධාන පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවීම, සංහිඳියා ක්‍රියාවලිය, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව නැවත ප්‍ර‍ජාතන්ත්‍රීයකරණය, ආර්ථික ප්‍ර‍තිපත්තිවලදී ඇති වී තිබෙන එකගතා ආදිය ඔහු මතු කර දැක්වූවා.

රොයිටර් පුවත් සේවය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරන ගනුදෙනුව පිළිබඳ කරන ලද විමසීමකදී අගමැතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා තවම සිදු වෙමින් පවතින බවයි. ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට නම් ආර්ථිකය පූර්ණ ප්‍ර‍තිව්‍යූහගත කිරීමකට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.

සංවර්ධනයෙහිදී චීනය සමග තිබෙන සම්බන්ධතා පිළිබඳ කතා කරමින් අගමැතිවරයා පැවසුවේ චීනය සමග කටයුතු ඒ අන්දමින් ම ඉදිරියට යනු ඇති බවයි. වරාය නගරය, හම්බන්තොට වරාය දෙවන අදියර ආදිය ඉදිරියට යන බව ඔහු පැවසුවා. ඒ අතර අගමැතිවරයා සඳහන් කළ සුවිශේෂ කරුණක් වන්නේ යටිතල පහසුකම් සංවර්ධනයෙහි පමණක් නොව වෙනත් අංශවල ද ආයෝජනය කිරීම සඳහා චීනය යොමු කර ගන්නට කටයුතු කරන බවයි. චීනය ඇතැම් කර්මාන්ත සිය රටින් පිටට ගෙන යාමට තීරණය කර ඇති බවත්, ශ්‍රී ලංකාව එවැනි එක් ස්ථානයක් බවත් ඔහු පැවසුවා. එසේ ම, ආර්ථික සංවිධාන හා දේපල වැනි අංශවල ද චීනය වැඩිපුර ආයෝජනය කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුණා.

ඩැවෝස්හි ලෝක ආර්ථික සංසදය ශ්‍රී ලංකා රජය විසින් මැනැවින් භාවිතා කරනු ලැබූ බව දකින්නට ලැබුණා. DW.com සමග පැවැත්වුණ සම්මුඛ සාකච්ඡාවකදී ලෝක ආර්ථික තත්වය පිළිබඳ අගමැතිවරයාගේ අදහස විමසූ විට ඔහු පැවසුවේ තත්වය පිළිබඳ ඔහු තරමක් අසහනයෙන් සිටින බවයි. එහෙත්, ශ්‍රී ලංකාව දීප්තිමත් ස්ථානයක් වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළා. ඒ අතර, 7.5%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා. ආයෝජනවලදී යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ක්ෂේත්‍ර‍ය හා සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි අවධානය යොමු වනු ඇති බව ඔහු පැවසුවා.

ඩැවෝස් ලෝක ආර්ථික සංසදය ශ්‍රී ලංකාව ලෝකය හා විශේෂයෙන් ම ආයෝජකයන් වෙත ප්‍ර‍වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *