පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට අධිචෝදනා ගොනුකිරීම නීතිපති ප්‍රතික්ෂේප කරන ලකුණු !

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පිටින් යමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දිගින් දිගටම අවුල් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් චූදිතයින්ට අධිචෝදනා ගොනුකිරීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 

මෙම විමර්ශනය පසුගිය වසරේදී ජාත්‍යන්තර ඔත්තු සේවා ගණනාවක නිලධාරීන් ද සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පරිවේශනීය සාක්ෂි මත ඉතා සීරුවෙන්, සූක්ෂම ලෙස, සාර්ථකව ගොඩ නංවා තිබුණු අතර ඉතිරි වී තිබුණේ චූදිතයින්ට අධිචෝදනා ගොනු කිරීමටය. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමෙන් පසුව සහ පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන්නට ආසන්න වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරී කණ්ඩායම් මේ සියල්ල අවුල් කරමින් දේශපාලනඥයින් පිනවීම සඳහා කරුණු විකෘති කිරීමටත් රජයේ සාක්ෂිකරුවන් යළි අත් අඩංගුවට ගැනීමටත් පටන් ගෙන තිබිණි. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මීට දැඩි විරෝධය පළකර තිබුණ ද අපරාධ විමර්ශනය පිළිබඳ අත්දැකීම් නොමැති ප්‍රභූ ආරක්ෂකයින් පිරිසක් වන නව නිලධාරී කණ්ඩායම දිගින් දිගටම විමර්ශනය අවුල් කරමින් සිටිති. 

එවන් තත්වයක් තුළ පරස්පර සාක්ෂි සහිතව අධිචෝදනා ගොනුකිරීමට නොහැකි බැවින් නීතිපතිවරයා අධිචෝදනා ගොනුකිරීම ප්‍රතික්ෂේප කරන වාතාවරණයක් මතුව තිබේ. මෙම නීති කටයුත්ත පිළිබඳව ලෝකයම බලා සිටින බැවින් හුදෙක් දේශපාලන හේතූන් මත තමන්ට විහිළුවක් වීමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ද තරයේ ප්‍රකාශ කර ඇති බව වාර්තා විය. පරස්පර සාක්ෂි සහිතව චෝදනා ගොනුකළහොත් අධිකරණය ඉදිරියේ චූදිතයින් නිදහස් වීමේ අනතුරක් පැහැදිලිවම පවතී. 

කෙසේවෙතත් මෙවන් තත්වයක් මතුවුවහොත් එය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පැරණි නිලධාරීන් කණ්ඩායම මත පැටවීමට නව CID අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරී කණ්ඩායම සාකච්ඡා කරගෙන සිටින බව ද ආරංචිමාර්ග සඳහන් කළේය. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *