අවශ්‍ය වුණොත් මැතිවරණය නැවත කල් දාන්න එකඟවෙලා


මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනිදා නියම කර ඇති බවත් එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බවත් වාර්තා වෙයි.

අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ජුනි 20 වැනිදා මැතිවරණ දිනය ලෙස නියම කළ බව සනාථ කළේය.


ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශය නිකුත් කරන ලද දිනය වන මාර්තු 02 දින සිට මාස තුනක් ඉක්මවා ගිය දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කර ඇත.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ජනාධිපතිවරයාට කළ හැකිය. එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 70(5) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහරින දිනයේම නියම කළ යුතු අතර, නැවත කැඳවන දිනය මාස තුනක් නොඉක්මවූ දිනයක් විය යුතුය.


කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 23 (3) වගන්තිය අනුව හදිසි තත්වයක් යටතේ මැතිවරණය කල් දැමීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ඇත.


මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ දිනයක් නියම කිරීම සඳහා අපේ‍්‍රල් 20 වැනිදා රැස්වූ අතර මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීම සඳහා එදින සාකච්ඡා කර තිබුණි. මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් අපේ‍්‍රල් 16 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මැයි 28 වැනිදා මැතිවරණය පැවැත්විය යුතු බවට දූරකථනයෙන් තමාට යෝජනා කළ බව සඳහන් කර තිබුණි.


කෙසේ වෙතත් අපේ‍්‍රල් 20 වැනිදා මැතිවරණ කොමිසම හමුවේ අදහස් දක්වා තිබුණු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දන්වා තිබුණේ ජුනි 02 වැනිදාට පෙර දිනයක කොවිඞ්-19 වසංගත තත්වය පහව යනු ඇතිදැයි සහතික කළ නොහැකි බවය. ඒ අනුව ජුනි 20 වැනිදා මැතිවරණ දිනය ලෙස තීන්දු කිරීමට එකඟ වී තිබේ.

තරිඳු උඩුවරගෙදර

අනිද්දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *