රජය නීත්‍යානුකූලව ඇඳිරි නීතිය පනවා නෑ. අපි පිළිපදින්නෙ රටේ තත්වය නිසා. නඩු බෑ – සුමන්දිරන්

නීතිමය වශයෙන් ඇඳිරි නීතිය පැනවිය හැකි ක්‍රම කිහිපයක්ම තිබියදීත් රජය කුමක් හෝ හේතුවක් මත එසේ නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නොමැති බවත් එහෙයින් පොලිසිය විසින් කරන අත් අඩංගුවට ගැනීම් සහ වාහන රඳවා ගැනීම් නීතිවිරෝධී ක්‍රියාවන් බවට පත්ව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි. 

කෙසේවෙතත් රටේ පවතින තත්වය සලකා බලා ඇඳිරි නීතිය පිළිපදින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

“පොලිසිය ඉදිරිපත් කරපු කරුණ තමයි ඇඳිරි නීතිය කඩකළා, ඇඳිරි නීතිය තියෙන වෙලාවේ බලපත්‍ර නැතුව වාහනය ගෙනාවා කියන එතනින් තමයි පටන් ගත්තේ. නීතිමය ඇඳිරි නීතියක් මේ රටේ නෑ. අපි හැමෝම ඒක පිළිපදින්නෙ රටේ තියෙන තත්වය නිසා. ඒ නිසාම තමයි අපිත් ඒ රජය කියන උපදෙස් අපි පිළිපදින්නෙ. ඒක හැරෙන්න නීතියෙන් ඇඳිරි නීතියක් පනවලා නෑ. 

ඒක කරන්න පුළුවන්. නීතියෙ වෙන වෙන ක්‍රම කීපයක්ම තියෙනවා ඇඳිරි නීතිය නීතිමය වශයෙන් ඉදිරිපත් කරන්නට. නමුත් මොන හේතුවක් නිසාද මං දන්නෙ නෑ, රජය ඒක කරලා නෑ. ඒනිසා ඇඳිරි නීතිය කඩකළා, ඇඳිරි නීති බලපත්‍ර තිබුණෙ නෑ කියලා පටන් ගන්න එකම නීතිවිරෝධී ක්‍රියාවක්. පොලිසිය නීතිවිරෝධී ක්‍රියාවක් කරගෙන ඒකෙන් මතුවෙන ප්‍රශ්නයට තව අයව අත් අඩංගුවට අරගෙන තියාගන්න බෑ. අනිත් එක වාහනයත් දැන් තියාගෙන ඉන්නවා, ඒකත් නීතිවිරෝධී ක්‍රියාවක්. 

මම මතු කරපු කරුණු සලකලා බලලා රංජන් රාමනායක මහත්තයාට ඇප දීලා තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) රංජන් රාමනායක මහතා ඇප මත නිදහස් කෙරුණු අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *