දෙවන වටයකටත් සුදානම් වෙන්න ;පරීක්ෂණ 3000ක් දක්වා වැඩි කරන්න – රනිල් රජයෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න  සිදුකරන පරීක්ෂණ මේ වන විට 1000කට අඩු සංඛ්‍යාවක පවතින නමුත් අවම වශයෙන් දිනකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට යා යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මේ සඳහා රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් යොදාගත යුතු අතර පෞද්ගලික අංශයද සම්බන්ධ කරගත යුතු බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. 

මේ වන විට රෝග ව්‍යාප්තිය පාලනය වී තිබුණත් දෙවැනි රැල්ලක් මතු වීමේ ඉඩකඩ බැහැර කරවිය නොහැකි බව ඔහු පෙන්වාදෙයි. 

“සෞඛ්‍යයට සම්බන්ධ සමහර වෘත්තීයවේදීන් පවසන්නේ අපේ රටේ රෝගයට භාජනය වන සමස්ත සංඛ්‍යාව තිස්දහසකටත් වඩා වැඩි විය හැකියි. මේ සංඛ්‍යා ලේඛනයන්හි සත්‍යතාව මම දන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයකට හෝ ඊටත් වඩා අසීරු තත්ත්වයකට හෝ මුහුණ දීමට අප සූදානම් විය යුතුයි.”

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කමිටුවත්,වෛද්‍ය වෘත්තීයවේදී සංගම් ගණනාවක් මේ සම්බන්ධයෙන් වාර්තා ලබා දී ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ දක්වා තිබේ. 

දකුණු කොරියාව,නවසීලන්තය සහ ජර්මනිය වනි රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම කියාසිටියි. 

ඒ අනුව වැඩි වශයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවධානය යොමු කළ යුතු අතර පරීක්ෂණ වැඩිකර සමාජ දුරස්ථකරණය පියවරෙන් පියවර ලිහිල් කරමින් යළි ආර්ථිකය පණ ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද වික්‍රමසිංහ මහතා නිවේදනයෙන් දක්වා තිබේ.  


Leave a Reply

Your email address will not be published. Required fields are marked *