සිවිල් සංවිධාන මේ ජනාධිපතිටත් එරෙහිව පාරට බහින සූදානමක !

ජනාධිපති ආණ්ඩුක්‍රමය ඉවත්කර, ජාතික ප්‍රශ්නයට ද ආමාන්ත්‍රණය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදි නව ව්‍යස්ථාවක් ස්ථාපිතකර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමේ පොරොන්දුව පිට ජනාධිපති පුටුවේ වාඩිකළ මෛත්‍රිපාල සිරිසේන මහතා, එම ගිවිසුමට පිටු පා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවයට අනුව කටයුතු කෙරෙන බව පවසමින් සිවිල් සංවිධාන පාරට බහින්නට සූදානම් බව යුක්තියට වාර්තා වේ.

සිවිල් සමාජ නායකයෙක් යුක්තියට වාර්තා කළ ආකාරයට උක්ත ගිවිසුම උල්ලංඝනය කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් හදාගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත. ඔහු පවසන ආකාරයට රාජපක්ෂ පාලනයේ දූෂිතයින්ට එරෙහිව ඇතැම් පරික්ෂණ අවසන්ව, නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතත්, ජනාධිපතිවරයා ගේ මැදිහත්වීම තුළ එතනින් එහාට යමක් නොකෙරෙ තත්ත්වයක් උදාවී ඇත. නීතියේ රැහැනට හසුවීමට නියමිත නාමල් රාජපක්ෂ මංත්‍රිවරයා සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාවෙන් පෙනීයන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවත බලයට පත්කර රාජපක්ෂ රෙජීමයේ දුෂණ හා මිනී මැරීම් චෝදනා සියල්ලම මෙතනින් නතර කර දැමීම බව ඔහුගේ අදහස ය. මේ නිසා ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව සිවිල් සමාජය පාරට බහින්නට සූදානම් බව යුක්තියට වාර්තා වන අතර මේ සතිය තුළ මාධ්‍ය තුළින් එය ප්‍රකාශයට පත්වීමට නියමිත බව ද ඒ සිවිල් නායකයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ ඇමතිවරයෙකුගෙන් මේ පිළිබඳව යුක්තිය කළ විමසීමක දී ඔහු ද කියා සිටියේ, ජනාධිපතිවරයා ගේ හැසිරීම අනුමත කළ නොහැකි බව ය. මේ සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද යන්න පිළිබඳව යුක්තිය නැගු ප්‍රශ්ණයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ තම කණ්ඩායම ද සිවිල් සංවිධාන සමග පාරට බහින්නට සුදානම් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *