|

ස්වභාව ධර්මයේ පණිවුඩය තේරුම් ගනිමු-මිනිස් ගුණ ධර්ම වඩමු – වජිර අබේවර්ධන

මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු ලෝ වැසියන් එකට එක් විය යුතුයි


ස්වභාව ධර්මයට තව දුරටත් පිටු නොපෑමට සිතට ගත යුතුයි 

ස්වභාව ධර්මය දුන් පණිවුඩය තේරුම් ගෙන සිය චිත්ත සංතානයන් හි මිනිස් ගුණ ධර්ම තව තවත් වගා කර ගනිමින් සියලු භේද ඉවතලා Covid-19 වසංගතයෙන් බේරීම් සඳහා මනසින් උසස් මිනිසුන් ලෙස සියලු ලෝ වාසීන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එකට එක් විය යුතු කාලය එළඹ ඇතැයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ස්වභාව ධර්මය අභිභවා යන්න මිනිසාට නොහැකි බව යළි යළිත් තහවුරු වී ඇතැයි “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් මෙසේ ද කීය. 

Covid -19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර ගොස් තිබෙන අතර ඊට එරෙහිව කිසිවක් කර කියා ගත නොහැකිව ලෝකයේ ප්‍රබල රටවල් ඇතුළු සියලු රටවල් ද සමස්ථ ලෝ වැසියන් ද අන්ත අසරණව සිටීමෙන් පැහැදිළිවන කාරණය වන්නේ මුළු ලෝකයම පාලනය කෙරෙන්නේ ස්වභාව ධර්මය මඟින් බවයි.

ස්වභාවධර්මය සමස්ථ ලෝකයේ පාලනය සිය අණසකට ගෙන මානව වර්ගයාට ලබා දී තිබෙන මේ අතිශය අමිහිරි සහ කටුක පණිවූඩය තේරුම් ගෙන මේ මොහොතේ අප සියලු දෙනා ක්‍රියා කළ යුත්තේ ඉතාම මානුෂිකවයි. ස්වභාව ධර්මයට පිටු පා කවදාවත් ක්‍රියා නොකිරීමට මේ මොහොතේ දී සමස්ථ ලෝක වාසීන් අධිෂ්ඨාන කර ගත යුතු අතර ඊට අවනත වෙමින්  සිය චිත්ත සංතානයන් හි මානුෂිය ගුණ ධර්ම තව තවත් වගා කර ගෙන ස්වභාව ධර්මය සමග මනා අන්තර් සබදතා පවත්වා ගනිමින් සිය ජිවන ගමන් මාර්ගය ඒ හා සමාන්තරව ගෙන යන්න සූදානම් විය යුතුයි.

රටක් ලෙස ශ්‍රී ලංකාව සහ අපේ ජනතාව මේ උවදුරින් බේරා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව එකසත් ජාතික පක්ෂයේ අප අපට කළ හැකි සියල්ල සිදු කරන අතර රජයට අවශ්‍ය සහයෝගය ද ලබා දෙනවා. මේ වසංගත තත්ත්වයෙන් වාසි ගෙන කවුරුන් හෝ දේශපාලනය කිරීමට උත්සහ කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් ස්වභාව ධර්මයම තීන්දු තීරණ ගනු ඇති අතර ඉතා සත්භාවයෙන් යුතුව මනසින් උසස් මනුෂ්‍යයින් ලෙස හදවතින්ම අප සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ,පාට,ජාති සහ ආගම් භේද පසෙක තබා මේ මොහොතේ මහා පවුරක් සේ එකට එක් වන ලෙසයි.

Covid-19 සහ අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි එවැනි බරපතල වසංගත තත්ත්වයන්ට අදාළව රටත්,ජනතාවත් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ලෝකයේ අනෙකුත් රටවල් ක්‍රියා කර ඇති පරිදි ශ්‍රී ලංකා රජය ද අවශ්‍ය නීතිරීති සහ කෙටුම්පත් සකස් කර ගත යුතුව තිබෙන අතර එවැනි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු සම්පත් ද උපයා ගත යුතුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස මම මට හැකි අයුරින් මගේ දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙන් සනිපාරක්ෂක සහ වෛද්‍ය පහහසුකම් වගේම සහනාධාර ලබා දෙමින් සිටින අතර මම එසේ කරන්නේ ස්වභාව ධර්මය මුළු ලෝකයටම දී තිබෙන  මේ පණිවුඩය මනාව තේරුම් ගෙන විනා පටු අරමුණු ඇතිව නොවන බව කිව යුතුයි. 

(සුජිත් මංගල ද සිල්වා) 

“lankanewsweek”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *