ලලිත් ද සිල්වා හා ගාමිණි සුමනසේකර ඉවතට – ජනාධිපතිවරයා තීරණය කරයි

ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයට නොබෝ දා බඳවාගත් ලලිත් ද සිල්වා සහ ගාමිණි සුමනසේකර ඔවුන් දැරු තනතුරු වලින් ඉවත්කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරෙංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. පුවත්පත් ආචාර ධර්ම තුට්ටුවකට මායිම් නොකර රාජපක්ෂට කඬේ ගිය ලලිත් ද සිල්වා ජාත්‍යන්තර මාධ්‍ය ලේකම් ලෙස හා සුමනසේකර ජනාධිපති මාධ්‍ය ඒකකයට බඳවා ගැනීම පිළිබඳ පසුගිය සති කිහිපය තුළ සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන වලින් ජනාධිපතිවරයාට දැඩි ලෙස විවේචන එල්ල විය.
පසුව මේ පිළිබඳව පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයා හමු වී තම අප්‍රසාදය පලකළ බව ද දැනගන්නට ඇත. මෙයට ඇහුම්කන් දීමක් වශයෙන් එම තනතුරුවලට වෙනත් දෙදෙනෙකු නම් කරන ලෙස ජනාධිපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයින්ට පසුව දැණුම් දී තිබේ.
මෙයට ප්‍රතිචාර ලෙස මේ වනවිට ජනාධිපතිවරයාගේ ජාත්‍යාන්තර මාධ්‍ය ලේකම් ලෙස රංග කළංසූරියගේ නම හා ගාමිණි සුමනසේකරගේ තනතුරට ජයතිලක ද සිල්වා ගේ නම ද සිවිල් සංවිධාන විසින් යෝජනා කෙරී ඇත. දැනගන්නට ඇති ආකාරයට නොබෝ දිනකින්, ලලිත් ද සිල්වා සහ සුමනසේකර එම තනතුරු වලින් ඉවත්කර ඒ වෙනුවට රංග කළංසූරිය හා ජයතිලක ද සිල්වා එම තනතුරුවලට පත්කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *