මුඛ ආවරණ නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණයි. සාමාන්‍ය අයට අවශ්‍ය නෑ – වෛද්‍ය පබා

සාමාන්‍ය එදිනෙදා කටයුතුවල නියැළෙන, වෙළඳ සැල් කරා යන ජනතාව මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය යැයි මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි.

“අදටත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ වැස්මක් පැළඳගෙන එහෙ මෙහෙ ගමන් යාම අනුමත කරන්නෙ නෑ. මුඛ වැස්මක් පැළඳීම ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය වනුයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලයට පමණයි අපි තවමත් නිර්දේශ කරන්නෙ මාස්ක් එකක් පළඳින්න. 

එතකොට ඔබ එදිනෙදා සාමාන්‍ය කටයුතු කිරීමේදී, ගමන් කිරීමේදී, කඩවල්වලට යෑමේදී එසේත් නැතිනම් තමන්ගේ එදිනෙදා කටයුතුවලදී මාස්ක් එකක් පැළඳීම අපි නිර්දේශ කරන්නේ නෑ තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය. 

මුඛ ආවරණයක් දිගු කාලයක් එකදිගට පැළඳගෙන සිටීම අපහසු කාර්යයක්. ඒනිසා සෞඛ්‍ය සනීපාරක්ෂක ලෙස මුඛ වැස්මක් පැළඳීම සාමාන්‍ය කෙනෙකුට පහසු වන්නේ නෑ” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ. 

වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය මේ බව පැවසුවේ කෝවිඩ් – 19 පැතිර යාම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුව ඊයේ (24) අමතමිනි. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *