‘මුඛ ආවරණ අත්‍යවශ්‍ය නැහැ’ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 කොවිඩ් – 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුණ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
ඒ මහතා‍ මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කළ උපදෙස් ඇතුළත් වීඩියෝ වැඩසටහනකට එක්වෙමිනි.
 
ඇතැම් කාර්යාලවල සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවිසැල්වල පවා මුඛ ආවරණ නොමැතිව ඇතුළු නොවන ලෙස පුවරු සවිකර තිබුණු බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතුයැයි තමන් නොකියන බවයි. නමුත් මුඛ ආවරණ පැළඳ සිටින පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී තමන් අනුගමනය කළ යුතු දේ අමතක කර නොකළ යුතු දේ කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. 
 
“ශ්‍රී ලංකාවේ තවමත් සමාජයීය වශයෙන් කොවිඩ් වෛරසයේ පැතිරීමක් නොමැති බැවින් මුඛ පළඳනා පැතිරීම අනවශ්‍ය බව අපි ප්‍රකාශ කරනවා. නමුත් මෙවැනි පැතිරීමක් තිබෙනම් ඒවා පැළඳීම අවශ්‍යනම් බවත් අපි ප්‍රකාශ කරනවා. මුඛ ආවරණ අනවශ්‍ය මේ වගේ වෙලාවක පැළඳීම, ඒවා ඇත්තටම අවශ්‍ය වෙන වෙලාවට මුඛ පළඳනා නැති වීමට හේතු‍ විය හැකියි. මුඛ පළඳනා අත්‍යාවශ්‍යම වෙලාවක් ආවොත් අපි ඒ ගැන දැනුම් දෙන්නම්. පාරිභෝගික ආයතන, බැංකු කාර්යාලවල මෙසේ මුඛ ආවරණ නොමැතිනම් පුරවැසියන් ඇතුලට ගැනීමෙන් වැළකී සිටීම වැරදි දෙයක් බව කිව යුතුයි. ඒ ඒ ආයතනවලින් සංවිධානයවී සමාජයීය දුරස්ථ බවක් ඇතිකරගැනීමේ වැඩපිළිවෙලක් සංවිධානය කළ යුතුයි. ජනතාව ඇඳිරිනීතිය අවසන් වූ වහාම වෙළෙඳපොල්වලට යනවා. ඔබට ජනතාවට අවශ්‍යකරන පාරිභෝගික ද්‍රව්‍ය මලු සහ පෙට්ටිවලට සකස් කරලා ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් මෙය කළ හැකියි. සමාජ දුරස්ථබව මගින් මෙය වැළැක්වීමට කටයුතු කළ යුතුයි.”  යැයි ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

(සිරංගිකා ලොකුකරවිට)

ලංකාදීප
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *