තිස්ස අත්තනායකගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමටත් තට්ටු වන ලකුණු

සමගි ජනතා බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට එම සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන අවස්ථාව අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු වී තිබෙන්නේ සමගි ජනතා බලවේගයේ ජාතික ලැයිස්තුවේ උද්ගතවී තිබෙන තරඟකාරී තත්ත්වය සහ තිස්ස අත්තනායක මහතාගේ දේශපාලන භාවිතයට එරෙහිව එම සන්ධානයේ ප්‍රබල දේශපාලන නායකයින් පිරිසකගෙන් එල්ලවෙමින් පවතින විරෝධය බව සඳහන් වේ.

තිස්ස අත්තනායක මහතා සමගි ජනතා බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලන තීන්දුවක් ගනිමින් ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වුණොත් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් එම දේශපාලන නායකයින් ප්‍රශ්න කරමින් සිටින අතර ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ තිස්ස අත්තනායක මහතා 2015 ජනාධිපතිවරණයේදී යහපාලන කඳවුරේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව “අලි-කොටි” ගිවිසුමකට අදාළ කූට ලේඛනයක් රට හමුවේ තබමින් ජනතාව නොමග යැවීම හේතුවෙන් හයපාලන කඳවුරට එදා ලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයක් අහිමි වූ බවය. 

මේ අතර තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගයේ නායකයින් විවේචනය කරමින් එම සන්ධානය අභ්‍යන්තරයේ අනවශ්‍ය ප්‍රශ්න සහ ගැටුම් ඇති කිරීමට යන්නේ යැයි කියන සිද්ධීන් සහ තොරතුරු සම්බන්ධයෙන් එම සන්ධානයේ ප්‍රබලයින් පිරිසක් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවදානය ද යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා ලිපි 600ක් මඟින් ලිඛිතව අරාධනා කරමින් මහනුවර දී සිකුරාදා (20) කැඳවා තිබූ එම සන්ධානයේ ක්‍රියාකාරී හමුවට පැමිණ ඇත්තේ ක්‍රියාකාරීන් හතළිහක් පමණක් බව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

සමගි ජනතා බලවේගයේ ආරංචි මාර්ග “lankanewsweek” වෙත තහවුරු කර සිටියේ නියත ලෙසම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර  හිමි වනු ඇත්තේ එම සන්ධානයෙන් ජාතික ලැයිස්තුව නියෝජනය කරන එහි මහා ලේකම් රංජිත්  මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, ඩයනා ගමගේ, නීතිඥ ශිරාල් ලක්තිලක, ඉමිතියාස් බාකිර් මාකර්, මයන්ත දිසානායක සහ එම සන්ධානයේ පාර්ශවකරුවන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්ධීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන්,වගේම පාඨලී  චම්පික රණවක යන නායකයින්ගේ නියෝජිතයින්ට බවය. 

මේ කණ්ඩායමේ සියලු දෙනාටම පාර්ලිමේන්තු යන්නත් සමගි ජනතා බලවේගයට මහා මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 12ක් හිමි විය යුතු අතර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එම සන්ධානයට කිසිසේත් එම ඉලක්කයට යා නොහැකි බවය.

තිස්ස අත්තනායක මහතාගේ නම සමගි ජනතා බලවේගයේ ජාතික ලැයිස්තුවේ මුලින්ම සදහන් වුනත් ඔහුට එම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න තිබෙන ඉඩකඩ අවම වී ඇත්තේ මේ පසුබිම යටතේ වන අතර 2010ය මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවේ මුලින්ම සඳහන් වී තිබුණේ ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ නම වන නමුත් මහා මැතිවරණයෙන් පසුව එම ජාතික ලැයිස්තුවෙන් ඔහු පාර්ලිමේන්තුවට ගැනීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා නොකළේ ද ඒ වන විට ඔහුට එරෙහිව පැවති යම් යම් විරෝධතා සහ උද්ගතවී තිබූ තරඟකාරිත්වය මතය. 

තිස්ස අත්තනායක මහතා සම්බන්ධයෙන් සමගි ජනතා බලවේගයේ මේ මොහොත වන විට පවතින අභ්‍යන්තර සංවාදය “lankanewsweek” මෙසේ හෙළි කර සිටින්නේ සාක්ෂි සහ සාධක සහිත අතිශය අභ්‍යන්තර තොරතුරු මත වන අතර මේ සම්බන්ධයෙන් “lankanewsweek” වෙත ඔහු ප්‍රතිචාර දක්වන්නේ නම් ඒ සඳහා ඔහුට අවස්ථාව සලසා දීමට ද අපි සුදානම් බව සිහිපත් කරමු.  

“lankanewsweek”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *