|

සජිත්ගේ කල්ලිය ගිය නිසා එජාපයේ සියලු වස්දොස් ඉවරලු

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි.

වෙනදා මෙන් මන්ත්‍රීවරුන් රැසක් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර කාර්යබහුල තත්ත්වය හමුවේ වුවද ඔවුන් හා සුහද පිළිසදරේ යෙදීමට නායක රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

“කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් දාන්න කියා කව්රුත් කියනවා. නමුත් ආණ්ඩුව එය ගණන් ගන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව කැදවන්න කියලා හැමෝම ඉල්ලුවා. අගමැති කියන්නේ නාමයෝජනා දුන්නට පසු හමුවෙමු කියලායි. මේකට විසදුමක් නැතිද?” නවීන් දිසානායක විමසා සිටියේ නායකයාගෙනි.

“ආණ්ඩුව මුල ඉදළම මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. ඡන්දය කියන්නේ ජනතාව සමග කරන කටයුත්තක්. එංගලන්තයේ නම් ඡන්ද රැස්වීමකට එන්නේ 50 ක් විතර ගානකුයි. අපේ එහෙම නොවෙයි අපේ රැස්වීමකට දාහක් විතර එනවා. ඒක නිසයි, අපි කිව්වේ ඡන්දය කල් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා අවශ්‍ය මුදල් වෙන් කරගෙන මුළින් ව්‍යසනය අවසන් කරලා ඉමු කියලා. නමුත් ආණ්ඩුවට ඔනෑ ඉක්මණින් ඡන්දය තියන්න.” නායකයා පැහැදිලි කළේය.

“ඡන්දය දාන්න පෝලීමේ ඉන්න ඕනේ. එකම පැන්සලෙන් කතිරය ගහන්නේ. ගණන් කරන තැන නිලධාරිනුත් මෙතනදි අර්බුදයට යනවා. හොදම විසදුම ඡන්දය කල් දමා සර්ව පාක්ෂික සමුළුවෙන් ගැටළුවට විසදුම් සෙවීමයි” නායකයා තවත් විස්තර එක් කළේය.

“ජනාධිපතිගේ ජාතිය ඇමතිමේ කතාව නිසා මිනිස්සු තවත් අසරණ වුනා. මීට වඩා දෙයක් කියයි කියා මිනිස්සු හිතුවා.” චම්පිකා ප්‍රේමදාස කීවේය.

“ඔව් ඇත්තටම එතනදි ජනතාවට විශ්වාසය තහවුරු වන යමක් කියැවුනේ නැහැ. සියලු දෙනා එකට එක්වී වසංගතය පරදවමු කියන දේ මෙතනදි එළියට ආවේ නැහැ. ඉස්සරහට සිංහල අවුරුදු එනවා. පාස්කු, රාමසාන් කාල එනවා. ඒ කියන්නේ ජනතාව පාරට එන අවස්ථාවයි. මේ ගැනත් යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ.” නායකයාගේ කතාව සැවොම අනුමත කළහ.

“සර් රෝයල් – තෝමියන් බිග් මැච් එක බලන්න ගියාලු නේද? එතනත් ආසාදිතයෙකු ඉදලා තිබෙනවා. ඒක නවත්වන්න කියපු එක ඇහුවේ නෑ කියලාද කියන්නේ.

” ඔව් මට එතනදි ශිරන්ති රාජපක්ෂවත් හමුවුනා. මම වැඩිවේලාවක් හිටියේ නැහැ. කොහොමවුනත් අපිත් කිව්වේ මැච් එක නවත්වන්න තිබුණා කියන කාරණයයි.” නායකයා කීවේය.

“ජනාධිපතිතුමාත් ආනන්ද – නාලන්ද බිග් මැච් බලනවා අප දැක්කා. එතන වරෙන්තුකාරයෙකුත් හිටියා නේද? කොහොම වුනත් මෙහෙම නම් ඡන්දය කරන්න බැහැ.” කේ.කේ පියදාස මැසිවිල්ලි ඉදිරිපත් කළේය.

“ඔව් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම උපයෝගි කරගෙන තුනෙන් දෙක ගන්නයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රාත් ඒ කියා තිබුණා. අප්‍රේල් 25 වැනි දායින් පස්සට යන්න යන්න ආණ්ඩුවට අවාසියි. ඒකයි මේ ඡන්දය කල් දාන්නේ නැත්තේ.” වජිර අබේවර්ධන පැහැදිළි කළේය.

“නාම යෝජනා බාර ගත්තාට පසු මැතිවරණ කොමසාරිස්ට මැතිවරණය කල් දාන්න බලය ලැබෙනවා. ඔහු ඒ අනුව කටයුතු කරයි කියා අප හිතනවා.” නායකයා සදහන් කළේය.

“මැතිවරණ කොමිසම ඡන්දය කල් දැම්මොත් මුදල් හොයා ගන්නේ කොහොමද?” චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

“මුදල් ගන්න නම් පාර්ලිමේන්තුව කැදවන්න ඕනෑ. මෙහෙම මුදල් ගන්න එක නීත්‍යානුකූල නෑ. පාර්ලිමේන්තුව කැදවීම තමයි, හොදම විසදුම. නමුත් ආණ්ඩුව එය කරන්නේ නැහැ. කැබිනට් එක තියාගෙන දුවන්න බලන්නේ.” නායකයා පැහැදිළි කළේය.

“සමගි ජන බලවේගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ පක්ෂයේ කලින් හිටපු කෙනෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිබෙන බව ආරංචියි.” වජිර අබේවර්ධන කීවේය.

“ඔව්! එහි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේක සන්ධානයට හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. අනෙක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකකමින් හිටපු විපක්ෂනායකතුමා අයින් වෙලාත් නෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක කෙනෙක්ට ඒ පක්ෂයෙන් ඉල්ලන්න බෑ. මෙයාලා මැතිවරණ කොමිසමට ඔවුන්ගේ අලුත් ව්‍යවස්ථාව දී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් දීපු දිනයටත් පසුව දිනයකයි. මේ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා.” පක්ෂ නීති නිලධාරියෙකු පෙන්වා දුන්නේය.

“මේ කට්ටියට කරන්න තිබුණේ කාගෙත් යෝජනාව වෙච්ච කරුණාසේන කොඩිතුවක්කු ලේකම් කරලා ඡන්දයට යන්නයි. එහෙම නම් බය වෙන්න දෙයක් දෙපැත්තටම ඇතිවෙන්නේ නැහැනේ.” නවින් දිසානායක පෙන්වා දුන්නේය.

“ආණ්ඩුවට මැතිවරණය කල් දාන්නවත් පාර්ලිමේන්තුව කැදවන්නවත් වුවමනාවක් නැහැ. සර් දැන් අපේ මැතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙල මොකක්ද?” කේ.කේ පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

“අර්ජුන රණතුංග, නවීන් දිසානායක, දයා ගමගේ, රවි කරුණානායක, රුවන් විජයවර්ධන වගේ අලුත් මුහුණු ටිකක් මෙවර මැතිවරණය මෙහෙයවනවා. ඩි.එස් සේනානායක මැතිදුන් හදපු පක්ෂය අලුත් පරපුරක අලුත් ගමන මේ මැතිවරණයත් සමගම ඇති වෙනවා. නයකයා සදහන් කළේය.

“ඔව් දැන් මංගල, රන්ජන්, ඉරාන්, රිෂාඩ්, හකිම්, මනෝ වගේ අය නැහැනේ? මම නම් හිතන්නේ නායකතුමා කිව්වා වගේ මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ගේ සියලු ජාතීන්ට සෙවන වූ එක්සත් ජාතික පක්ෂය දැන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් පක්ෂය ලෙස අපට දැන් බෞද්ධයන්ට වගේම අන්‍ය ජාතීන්ටත් හොදින් ආමන්ත්‍රණය කරන්න පුළුවනි. අපට දිගින් දිගටම අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම ගොඩ නගන්න හොදම අවස්ථාව මේකයි. එදා බෙදිලා තිබුණේ දේශපාලන දර්ශනයන් අනුවයි. නමුත් මෑත කාලයේදි බෙදුනේ ජාතිය හා ආගම අනුවයි. ජාතිය හා ආගම අනුව බෙදුණු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා ගොනුවූ නිසා ඩි.එස් සේනානායක මැතිදුන් හැදු සිංහල බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයට නැති වුනා. දැන් අපට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම පක්ෂයට දිනා ගන්න.” වජිර අබේවර්ධන දීර්ඝ විස්තරයක් කළේය.

මේ අතර සමගි ජනබලවේගයේ නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයෝ බොහොමයක් පිටකෝට්ටේ පිහිටි විපක්ෂ නායක සජිත්ගේ කාර්යාලයට පැමිණ සිටියෝය. එහිදි මහ නුවර අපේක්ෂක ලැයිස්තු සකස් කිරිම පිළිබද කතාබහක් ඇතිවිය.

එහිදි කළුතර හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ගැටළුව පිළිබදව විමසා සිටියේය.

සිංහල තුනක් හා මුස්ලිම් දෙකක් දිනුවොත් අපෙක්ෂක ලැයිස්තුවේ අනෙක් දස දෙනාටම එක ධූරයකට තරග කරන්න සිදුවීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

පසුව කිරිඇල්ල හා විතාන ගොස් හොදම විසදුම තිස්ස අත්තනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දීම බවට කිරිඇල්ල කළ යෝජනාව සජිත් පිළිගැනීමත් සමග ප්‍රශ්නය අවසන් විය.

සටහන – ගජබා නාගහවත්ත

LANKAEPRESS

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *