ජනපතිට මුදල් බලය ඇත්තේත් අප්‍රේල් 30 තෙක් විතරයි. පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – රනිල්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීමට අවස්ථාව ඇත්තේ ද අතුරු සම්මත ගිණුමේ අවසන් දිනය වන අප්‍රේල් 30 වනදා දක්වා පමණක් වන හෙයින් රජයේ වියදම් සහ කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා වන වියදම් දැරීම එදිනෙන් පසු ගැටළු සහගත වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

අප්‍රේල් 30 වනදා දක්වා කාලය තුළ පවා අතුරු සම්මත ගිණුමට පරිබාහිරව මුදල් විදයම් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවත් මේ පිළිබඳව රජයේ අවධානය මෙතෙක් යොමුවී නොමැති බවත් සඳහන් කරන ඒ මහතා මහමැතිවරණය පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් රැස්කිරීමට අප්‍රේල් 30 වනදා වනවිට කිසිසේත්ම නොහැකි තත්වයක් උද්ගතව ඇති නිසා එදිනෙන් පසු රජයේ සේවක වැටුප්, සෞඛ්‍ය වියදම් යනාදී සියල්ල දැරීම අර්බුදයකට ලක්විය හැකි බවත් ප්‍රකාශ කරයි. 

ඒ අනුව මෙම තත්වයට පිළියම් සෙවීම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා තමන් මීට පෙර ද මේ බව දන්වා සිටියමුත් සතියක් තිස්සේම රජයෙන් ඒ පිළිබඳ කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් සඳහන් කරයි. 

එසේම මෙවන් අර්බුදකාරී අවස්ථාවන් ජයගත හැක්කේ දේශපාලන වාසි හඹා යාමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය ලබාදීමෙන් බව ද ඒ මහතා බලධාරීන්ට සිහිපත් කර සිටී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *