මා ජනාධිපති වූවා නම් මේ අවස්ථාවේ ජාතිය අමතන කතාව – කේ.ජී.පිලිප් ශාන්ත

Fa

ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. රටවාසී මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයනි සහෝදරියනි දුවේ පුතේ,

ඉතිහාසයේ ශක්තිමත්ව නැගී සිටි අපේ ජාතිය යළිත් වරක් බරපතල උවදුරකට මුහුණ පා ඇති අවස්ථාවක ඔබ සැමදෙනා ඇමතීම මගේ යුතුකමක් ලෙස සලකනව. මේ රටේ ජනාධිපතිවරයා ලෙස මාව තෝරා පත් කර ගත් පසුව ජාතියේ ආරක්ෂකයා ලෙස කුමන කැප කිරීමක් කර හෝ තමුන්නාන්සේලා රැක ගන්නා බව පළමුවෙන්ම ස්ථිරසාරව පොරොන්දු වෙන්න මා කැමැතියි.

යම් යම් ප්‍රශ්න තිබුණත් මා විසින් මෙහේයවන රාජ්‍ය යාන්ත්‍රණයට ඔබ තමුන්නාසේලා රැක ගැනීම සදහා වූ ශක්තිය හා හැකියාව පවතින බව මා ස්ථිරසාරව පවසන්න ඕන. ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය මත අප සමග අත්වැල් බැදගෙන සිටින සියළු විදේශ රටවල් ද මේ මොහොතේ මගේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම සහායක් ලබාදෙන්නට පොරොන්දු වෙලා තියෙනව. ඒ නිසා අබමල් රේණුවක හෝ සැකයක් ඇති කර නොගෙන මේ බරපතල අවස්ථාවේ අප හමුවේ පවතින අභියෝගයට මුහුණදීමට සූදානම් වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

අප හමුවේ ඉතිහාසය පුරා නිර්මාණය වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඇති ජාතියක් වශයෙන් මුහුණ දී ජයගත් හැකියාව ජානගත කුසලතාවක් නිසා මෙවරද අපට සාර්ථකව නැගී සිටින්නට පුළුවන් බව මා අපේක්ෂාසහගතව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ සදහා මගේ රජයේ සහායට විපක්ෂ නායකතුමත් ද්‍රවිඩ ජාතික සංගමයේ නායකතුමත් මිට මෙලොවූ අතක් ලෙස සිටින බව ප්‍රකාශ කරන්නේ සතුටින්. අද හවස අප පැවැත්වූ සාකච්ඡා වලදී ඔවුන් සියළුදෙනා සියළු පක්ෂ භේද අත්හලමින් ජාතිය මුහුණ දී ඇති අභියෝගය හමුවේ රජයට සහාය දෙන්නට පොරොන්දු උනා. එය මා ධෛර්යමත් කළ අතර ඒ අනුව ගම්මට්ටමේ අප සියළුදෙනා ද එකසිතින් එකාවන්ව එකට එකතුවිය යුතු යැයි මා යෝජනා කරනවා.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතත් මේ ව්‍යසනයට මුහුණදීම සදහා අවශ්‍ය සියළු මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර තියෙනවා. යම් හෙයකින් ඊට අපහසුතාවක් ඇතිවුවහොත් පාර්ලිමේන්තුව යළි කැදවීමටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එමගින් අනුමත කර ගැනීමටත් මා පසුබට වන්නේ නැහැ. ඊට අවශ්‍ය සහාය මට ලබාදෙන්නට ගරු විපක්ෂනායකතුමා මට පොරොන්දු වූවා. ඒ නිසා දේශපාලන අධිකාරීත්වයේ හා රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කිසිම සැකයක් ඇති නොකර ගන්නා මෙන් මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම්හෙයකින් පවතින සිවිල් නීති ප්‍රමාණවත් නොවුන්නේ නම් මහජන ආරක්ෂක පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහාය ඊට ලබාගැනීමටත් හැකියාව පවතිනවා. ඒ සියළු කටයුතු ගරු විපක්ෂ නායකතුමාගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නටත් සියළු අභියෝගයන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අවශ්‍ය පියවර ගන්නා බවත් මම සහතික වෙනවා.

මේ අවස්ථාවේ දී කොරෝණා වෛරසය පැතිරයෑම මැඩපැවැත්වීම ප්‍රධාන ඉලක්කයයි. පළමුව එය රටට ඇතුළුවිය හැකි සියළු දොරටු වසා දැමීමටත් දෙවැනුව වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයන් සොයාගෙන ඔවුන්ව රැක බලා ගැනීමටත් තෙවැනුව වෛරසය දැනටමත් ආසාධිත පුද්ගලයන්ගෙන් සෙසු අයට වැළදීම වැළැක්වීමටත් ආදී වශයෙන් පියවර ගන්නවා. මේ සදහා අපේ රටට සුදුසු නිරෝධායන ක්‍රම ලෝකයේ සෙසු රටවල අත්දැකීම් මත සකස් කර ගැනීම දැනටමත් සිදුවෙමින් පවතිනවා.

වෛරසය ආසාධනය වූවන්ගෙන් සෙසු අයට එය පැතිරීම වැළැක්වීම සදහා ආරම්භයේ දී ක්‍රියාත්මක කළ නිරෝධායන කදවුරු ක්‍රමය අසාර්ථක බැවින් වෙන් වෙන් කාමරවල රදවා නිරෝධායනය සිදු කිරීම සදහා අළුත් වැඩපිළිවෙලක් අප ආරම්භ කළා. එය වියදම් අධික වුවත් මගේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂාව සදහා එය කළ යුතුම දෙයක්. ඒ සදහා දැනට කාමර 1000ක් අවශ්‍ය බව සෞඛ්‍යය අංශ මා වෙත වාර්තා කළ අතර නිරෝධායනයට සුදුසු ප්‍රදේශවල පවතින සංචාරක හෝටල වලින් එම කාමර ලබා ගන්නට අප කටයුතු කළා. ඔවුන්ට ඒ සදහා යම් සාධාරණ මුදක් ගෙවන අතර බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නිසා ආදායම් අඩුවී ඇති හෝටල්හිමිකරුවන්ට මෙය යම් සහනයක් වේවි.
කොහොම උනත් මේ අවස්ථාවේ පවතින භයානක තත්ත්වය ගැන නොසිතා සේවයට කැපවී සිටින සෞඛ්‍යය සේවාවෙ සියළු නිලධාරීන්ටත් ඊට සහාය වන ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ හා සෙසු රාජ්‍ය නිලධාරීන්ටත් මගේ ගෞරවය හිමිවෙනවා. ඇත්තටම ඔවුන් මේ අවස්ථාවේ ජාතියේ වීරයන් ලෙස හදුන්වන්නට මම කැමැතියි. මේ උපදුරට මුහුණ දී අප ජාතියක් ලෙස සාර්ථකව නැගී සිටි පසුව මේ සියළු නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වලට විශේෂයක් කොට සැලකීමටත් ඔවුන් ජාතියේ වීරයන් ලෙස නම් කිරීමටත් මම සූදානම්. එතෙක් ඔවුන්ට ආර්ථිකමය ලෙස ශක්තියක් ලබාදීම සදහා විශාල ගෙවීම් පැකේජයකට අවශ්‍ය අනුමැතිය සදහා හෙට පැවැත්වෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපේ රජය අතින් මේ මොහොත් විය හැකි යම් අඩුපාඩුවක් වේ නම් එය ඉවසන ලෙසත් එමගින් යම් දුෂ්කරතාවකට මගේ ආදරනීය ජනයා පත්වෙන්නේ නම් ඊට සමාව ලබාදෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලන අතර පටු පක්ෂ භේද මත මගේ ආණ්ඩුව විවේචනය නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා. එහෙත් මේ අර්බූදයේ දී රජයේ වැඩපිළිවෙලෙහි යම් දුර්වලතාවක් ඇත්නම් එය නොපමාව විවේචනය කරන ලෙසත් ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් ඔබේ මහජන නියෝජිතයා මගින් එය මා හට දැනුම්දෙන ලෙසත් සහෝදරාත්මකව ඉල්ලා සිටිනවා.

නිරෝධායන ක්‍රියාවලිය හමුවේ තමුන්නාසේලා විවිධ දුෂ්කරතාවන්ට ලක්වෙන්න පුළුවන්. ඒත් හෙට සිට ක්‍රියාත්මකවන සති දෙකක විශේෂ නිරෝධායනය හමුවේ නිවෙස් වලට වී සිටින ලෙසත් අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවෙසින් එළියට නොයන ලෙසත් සියළු මහජන ඒකරාශීවීම් නතර කරන ලෙසත් ඉල්ලා සිටිනවා. අවශ්‍ය වුවහොත් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන අතර ආහාර පාන සොයා ගැනීමට අපහසු සියළු දුප්පත් ජනතාවට අවශ්‍ය ආහාර පාන සැපයීම රජයේ වගකීමක් ලෙස මා සලකා ඊට අවශ්‍ය යාන්ත්‍රණය දැනටමත් සකස් කර ඇති බව සතුටින් ප්‍රකාශ කරනවා.

මේ තීරණාත්මක අවස්ථාවේ මගේ රජයට ඔබේ සහාය ලබාදෙන ලෙසත් කොරෝණා වෛරසය අප ජාතියක් ලෙස එකට එකතුවී පරාජය කරන්නට සූදානම් බවත් හඩනගා පවසනවා.

ස්තූතියි

මගේ ආදරනීය ජනතාවට ජයවේවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *