ශ්‍රීලනිපය වෙනම ඉල්ලනවාද ? තීරණය ජනපති, අගමැති, බැසිල් සමඟ සාකච්ඡාවකින් පසු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමාණවත් අපේක්ෂකයින් සංඛ්‍යාවක් සඳහා නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු නොකරන තත්වයක් තුළ ඉදිරි මහමැතිවරණයට තරගවදින්නේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (17) මධ්‍යහ්නයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නා බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. 

ශ්‍රීලනිපයට තනිව මහමැතිවරණය සඳහා තරගවදින ලෙස එහි ආසන සංවිධායකයින් ඇතුළු පාක්ෂිකයින්ගෙන් දැඩි ඉල්ලීමක් කෙරෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලනිවසේදී සාකච්ඡාවක් ද පැවැත්විණි. එම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාව වනවිටත් එම නිලනිවස ආසන්නයේ රැඳී සිටි සියයක පමණ ශ්‍රීලනිප සංවිධායකයින් ඇතුළු පිරිසක් බලකරමින් සිටියේ වෙන්ව තරග වදින ලෙසය. 

කෙසේවෙතත් සාකච්ඡාව අවසානයේ පිටතට පැමිණි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පාක්ෂිකයින්ගේ ඉල්ලීම් පිළිබඳ බැරෑරුම්ව සලකා බලන බවත් අද (17) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවී නාමයෝජනා පිළිබඳ අවසන් වරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍යහ්න 12.00ට පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයකට එළඹෙන බවයි ඒ මහතා සඳහන් කළේ. 

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම වට්ටන තැනකට ගේන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්න ඉඩ තියන්න බැහැ. මං හිතන්නෙ ඒක තමයි ඇතිවෙලා තියෙන තත්වය. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ඒකට මුහුණ දිය යුතුයි” යැයි ඒ මහතා අවධාරණය කළේය.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *