සාෆි විකුණුවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට නාමයෝජනා නෑ. රැකියාවත් නැතිවෙන ලකුණු !

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ, පැලෝපීය විශේෂඥ, දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාගැනීමට ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබුණ ද ඔහුට නාමයෝජනා ලබානොදීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීමේදී දන්ත වෛද්‍යවරයකු ලෙස ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නොතිබුණ ද පැලෝපීය නාල සම්බන්ධ විශේෂඥයකු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් දේශපාලන වුවමනාවන් අනුව ජාතීන් අතර විරසකභාවයක් වර්ධනය කිරීම සඳහා සරත් වීරබණ්ඩාර මහතා දැඩි වෙහෙසක් ගත් අයුරු පසුගිය සමයේදී සියල්ලන්ටම දැකගත හැකිවිය. 

මේ අතර ඒ මහතා සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරණය කර තිබුණේ තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයේ සාමාජිකයකු බවත් ඒ මහතාගේ ජයග්‍රහණය සඳහා තමන් ද විශාල වැඩකොටසක් සිදුකළ බවත්ය. එසේම කුරුණෑගල ඇත්කඳ විහාරයේදී රැස්වීමක් පැවැත්වූ ඒ මහතා සාෆි පිළිබඳ පැමිණිලි කළ මවුවරුන් සහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඊට කැඳවා තමන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබාදෙන ලෙස යෝජනාවක් ද සම්මත කරවාගෙන එය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබිණි. 

කෙසේවෙතත් දේශපාලන අයිතිවාසිකම් අහිමි ශ්‍රේණියේ රජයේ නිලධාරියකු වශයෙන් සරත් වීරබණ්ඩාර මහතා සිදුකළ මෙම ක්‍රියාව නීතිවිරෝධී එකක් නිසා පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවම වුව ද ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති හෙයින් ඔහුට කිසිසේත්ම නාමයෝජනා ලබා නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

තමන් අතිශය සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ තමන්ට නාමයෝජනා ලබාදීමට මැදිහත් වනු ඇතැයි සරත් වීරබණ්ඩාර මහතා සිතා සිටියද එවැන්නක් කොහෙත්ම සිදුව තිබුණේ ද නැත. 

මේ සියල්ල තිබියදී ඔහු විසින් සිදුකළ දේශපාලන ප්‍රචාරණ කටයුතු පිළිබඳ ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට කවරෙකු හෝ අවතීර්ණ වුවහොත් ඔහුගේ රැකියාව නම් අහිමිවීමේ දැඩි අවදානමක් ඇති බව ද නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පැවසීය. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *