ආදී ශිෂ්‍ය ත්‍රස්තවාදයෙන් ප්‍රධාන පාසල් මුදා ගනිමු – අජිත් පැරකුම් ජයසිංහ

back+to+school+2ප්‍රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්‍රදේශ වර්ගයක් ලෙසයි.

ප්‍රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්‍රස්තවාදය යනු ආදි ශිෂ්‍ය, ශිෂ්‍යා ත්‍රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්‍යයන් අතින් නැටවෙන අන්තර්කාලීන ආණ්ඩුවක් වැනි ව්‍යූහයකි.

පාසල්වාදය යනු ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි ම වූ තවත් ගෝත්‍රවාදී ස්වෝත්තමවාදයක් බව ද, එය ද, ඉහත කී වාදයන් වැනි ම සාහසික, දූෂිත එකක් බව ද නැවතත් කිව යුතු ය.

කරුණාකර මං අහවල් ඉස්කෝලෙ යයි කියමින් උජාරුවෙන් දොඩන ප්‍රගතිශීලී මහත්තුරු, නෝනලා මේ ගැන ගැඹුරින් සිතන්න. මෙය හෙළා දැකිය යුතු ස්වෝත්තමවාදයකි.

මේ පාසල් ගෝත්‍රවාදයේ දිගුවක් ලෙස ආදි ශිෂ්‍ය සංගම් විසින් පාසල් මත අනවශ්‍ය ආධිපත්‍යයක් පවත්වාගෙන යනු ලැබේ. 1 ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේදී ආදි ශිෂ්‍ය සංගම්වලට 25%ක කෝටාවක් ලබා දීම ආදි ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට හේතු වේ. මෙය වහා අහෝසි කළ යුතු අසාධාරණ තත්වයකි.

ආදි ශිෂ්‍යයන් පාසල්වලට ආදරය කරනවා නම් තමන්ට කැමති පරිත්‍යාගයක්, උදව්වක් කරන්නට සංගමය යොදා ගත්තාට කමක් නැත. එහෙත්, මේ වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ වෙන ම රාජ්‍යයක් පවත්වාගෙන යති. ඔවුන් රජයේ චක්‍රලේඛවලට පිටින් වෙන ම පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාරයක් පවත්වාගෙන යති. නිදහසේ දරුවන්ගෙන් මුදල් ගසා කති. ඒවායින් සෑහෙන පාසල්ප්‍රේමීහු පිරිසක් නඩත්තු වෙති. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පණ කඩාගෙන පෙළපාලි යන සංවිධානවල නායකයෝ ද තමන්ගේ දරුවන් වෙනුවෙන් මීක් නො කියා ආදි ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදයට කප්පම් ගෙවති.

ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් වනාහි ආදි ශිෂ්‍ය සංගම් විසින් කපනු ලබන ළිංවලින් නාන පිරිසකි. ඔවුන් ආයතනික රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි ආදියට පිටින් ක්‍රියාත්මක වන අර වෙන ම රාජ්‍යයේ රජවරු ය. එහි නීති නැත. ඇත්තේ ආදි ශිෂ්‍ය බලය පමණි.

නිදසුනක් ලෙස රාජකීය නම් වන පාසලේ විදුහල්පතිවරයා ආදි ශිෂ්‍ය සංගම් හරහා දේශපාලන බලය පාවිච්චි කරමින් දූෂණ රැසක යෙදුණු අයෙකි. අතට අසු වූ සොරකම වනාහි සුළු පටු එකක් නො වේ. අනවසරයෙන් පංතියක් පවත්වාගෙන යාම යනු අඩු තරමේ ළමයින් 45ක්වත් අත යට ගනුදෙනු ඔස්සේ පාසලට ගැනීමයි. එක් සිසුවකුගෙන් රු. ලක්ෂයක් පගාව ගත්තා යයි සිතන්න.

එපමණක් නොව, මෙම පුද්ගලයා ශිෂ්‍යත්වය සමත් දරුවන් විශාල පිරිසකගේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයෙකි. ඔහුගේ ක්‍රියාව නිසා සෑම මට්ටමකදී ම ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තමන් අභිමත පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙයි.

මොහු යනු සරළ මාරුවක් කළ යුතු පුද්ගලයකු නො ව, වැඩ තහනම් කර, අල්ලස් හා දූෂණ විමර්ශනවලට ද මානව හිමිකම් චෝදනාවලට ද ලක් කළ යුතු අයෙකි. ඉතා පැහැදිලිව ම හිරේ යන්නට හේතු ඇත්තෙකි.

ප්‍රධාන පාසල් රැසක විදුහල්පති, පතිනියන් රැසකගේ තත්වය මෙසේ ය.

මෙතෙක් කල් දේශපාලන අධිකාරීන් කළේ මොවුන්ගේ දූෂණ විමර්ශන යට ගසා, ඔවුන් ගසා කන දෙයින් තමන්ගේ කොටස ලෙස තමන්ට අවශ්‍ය ළමයින් පාසලට දමා ගැනීමයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් මේ මුදා නො ගත් කලාපවලට ෂෙල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. දැන් ආදි ශිෂ්‍ය හා විදුහල්පති ත්‍රස්තවාදියෝ අනෙක් පැත්තට ෂෙල් වෙඩි වරුසාවක් එල්ල කරන්නට සැරසී සිටිති.

මුදා නොගත් පාසල් යළි රජයේ පාලනය යටතට ගන්නට නම් විදුහල්පතිවරුන් කීපදෙනෙකුට අධ්‍යාපන මුල්ලිවයික්කාල් හෙවත් සිරගෙදර රැකවරණය ලබා දිය යුතු ය.

අධ්‍යාපන ඇමතිවරයා අත ගසා ඇත්තේ එසේ මෙසේ යුද්ධයකට නො වේ. අගමැති, ජනාධිපති වැනි අය පවා විදුහල්පති මාරුවලට අත පෙවීමට තරම් ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදය බලවත් ය.

මේ අරගලය අබියසදී පීඩිතයන් නො සැලී සිටිය යුතු ය.

අනෙක් කාරණය වෙනත් බොහෝ කාරණාවලදී පට්ට විප්ලවවාදීන් වන අයට පාසල්වාදය ළඟදී කෙතරම් දුරට ස්වෝත්තමවාදයෙන් මිදිය හැකි ද යන්න පරීක්ෂා කිරීමටත් මෙය කදිම අවස්ථාවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වෙබ් අඩවියෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *