අධිකරණය යටපත් කිරීම සඳහා විධායකය දැරූ පළමු උත්සාහයම ව්‍යර්ථ කෙරේ !

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය ඊයේ (11) අධිකරණයට බාරවූවාය. මෙය හුදෙක් වරෙන්තු ලබා සිටි තවත් එක් කාන්තාවක් අත් අඩංගුවට පත්වීමට පෙර අධිකරණයට බාරවීමට වඩා විධායකය විසින් අධිකරණය යටපත් කිරීමට දැරූ පළමු උත්සාහයේ තීරණාත්මක පරාජය සනිටුහන් වීමක් ලෙස සැලකිය හැකිය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරුණු පළමු ජනාධිපති කොමිසම වූයේ පෙරකී පළිගැනීම් කොමිසමයි. එහි අරමුණ වූයේ පසුගිය වසර 5 තුළ රාජපක්ෂ කඳවුරේ දේශපාලනඥයින්ට සහ හිතවතුන්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබුණු නඩු ඉවත් කරවා ගැනීමය. 

මෙහි පළමු ඉඟිය පළවුණේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගෙනි. ඔහු තමන්ට එරෙහිව විභාග වන කෝටි 05 කැරම් බෝඩ් නඩුවේදී අධිකරණයට දන්වා සිටියේ තමන් ඉදිරියේදී ජනාධිපති කොමිසමක් හමුවේ මෙම නඩුවට අදාළව සාක්ෂි දීමට නියමිත බැවින් එම ජනාධිපති කොමිසමේ විමර්ශනය අවසන් වනතුරු තම නඩුව අත්හිටුවන ලෙසය. එහෙත් එය අධිකරණය විසින් පිළිගෙන තිබුණේ නැත. 

ජනාධිපති කොමිසම ද සුවිශේෂී නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දක්වමින් නිර්දේශ කර තිබුණේ තමන්ට මේවා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කර අවසන් කරන තෙක් අදාළ නඩු විභාග අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසිනි. එහෙත් නීතිපතිවරයා පෙන්වා දී තිබුණේ අධිකරණය හමුවේ පවතින නඩු නැවැත්වීමට ජනාධිපති කොමිසමකට බලයක් නොමැති බවය. 

මේ අතර කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ අධිචෝදනා ගොනු කෙරුණු අතර එහි විත්තිකරුවකු වූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා කොමිසමේ හයිය පෙන්වමින් අධිකරණය මඟහරින්නට පටන් ගත්තේය. ඔහු කොමිසම හමුවේ දිගටම සාක්ෂි දෙන්නට ගිය නමුත් අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් සිව් වරක්ම ඔහුට සිතාසි නිකුත් කිරීමට සිදුවිය. 

මව් ඇතින්නියන් මරා අලි පැටවුන් පැහැරගෙන ගොස් ජාවාරම් කිරීම පිළිබඳ නඩුවේදී මෙම තත්වය උත්සන්න විය. ඒ, එම නඩුවට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් ලිපිගොනු කොමිසම විසින් ගෙන්වාගෙන තිබීම නිසාය. වෙනත් නඩු කිහිපයකද මුල් ලේඛන මෙසේ කොමිසම විසින් ගෙන්වාගෙන තිබුණු අතර එනිසා එම නඩු විභාගයට ගැනීමට බාධාවක් වී තිබුණි. විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සති මුල් ලේඛන අධිකරණයකට ඉදිරිපත් කිරීම හැර අන්සතු කළ නොහැකිව තිබියදී කොමිසම ඒවා ගෙන්වා ගත්තේ කෙසේද යන්නම ප්‍රශ්නයකි. 

කෙසේවෙතත් අලි ජාවාරම් නඩුවේ මුල් ලේඛන තමන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබියදී කොමිසම එය නොසලකා හැරියේය. ඊළඟ නඩු දිනයේදී කොමිසමේ ලේකම්වරිය අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කෙරුණේ මෙසේ කොමිසම විසින් අධිකරණ බලය හෑල්ලුවට ලක්කිරීම නිසාය. එහෙත් ජනාධිපතිවරයාගේ බලයෙන් හිස උදුම්මාගත් කොමිසම තමන් වගකියන්නේ ජනාධිපතිවරයාට පමණක් බව කියමින් වරෙන්තුවට ද විවෘතවම අභියෝග කළ අතර තමන් හමුවට පැමිණ නිදහසට කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය. 

වරෙන්තු නිකුත් කර තිබියදීත් ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ දැඩි දෝෂාරෝපණයට පොලිසිය ලක්වූ අතර දින දෙකක් තුළ වරෙන්තුකාරිය අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කරන ලදී. සම්පූර්ණ සිද්ධියේ හැරවුම් ලක්ෂ්‍යය මෙයින් සනිටුහන් වූ අතර මෙම නියෝගයත් පොලිස්පතිවරයා විසින් පැහැර හරින ලද්දේ නම් අධිකරණය සහ විධායකය අතර ගැටුම ඉතාම තියුණු මුහුණුවරකින් යුත් සටනක් වීමට ඉඩ තිබිණි. 

මේ අතර තමන්ට එරෙහිව කොමිසම විසින් නිකුත් කර තිබුණු නොතීසිය සම්බන්ධයෙන්  අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කොමිසම අධිකරණ කටයුතුවලට බාධා කිරීම හරහා අධිකරණයට අපහාස කිරීමේ අවසන් සීමාව දක්වාම දැන් පැමිණ ඇති බවකි.

අවසානයෙහි ඊයේ දිනයේදී කොමිසමේ ලේකම්වරිය අධිකරණයට බාරවූ අතර ඇය සඳහන් කර තිබුණේ තමන් අධිකරණයට නොපැමිණියේ කොමිසමේ කොමසාරිස්වරුන් විසින් තමන්ට දුන් උපදෙස් අනුව බවත් කොමිසම ජනාධිපතිවරයාගේ අධිකාරී බලය නියෝජනය කරන නිසා අධිකරණ නියෝග පිළිගත යුතු නොමැති බව ඔවුන් තමන්ට පැවසූ බවත්ය. 

අධිකරණය එහිදී පැහැදිලිවම දෙවන වරටත් පෙන්වා දී තිබුණේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අධිකරණය බලයක් තබා අර්ධ අධිකරණ බලයක්වත් නොමැති බවය. එසේම කොමිසමේ විමර්ශන ගැන තමන්ගෙන් කිසිදු බලපෑමක් නොමැති බවත් තමන්ට අවශ්‍ය වන්නේ නඩුවේ මුල් ලේඛන පමණක් බවත් අධිකරණය පෙන්වා දී තිබිණි. 

ඒ අනුව අධිකරණයෙහි ගෞරවය රැකගැනීමට විකුම් කළුආරච්චි මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු විනිසුරු මඬුල්ල සමත් විය. මෙහිදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ද අගය කළ යුතුය. ඔවුන් නොසැළී යුක්තිය පසිඳළිමේ ක්‍රියාවලිය වෙනුවෙන් පෙනීසිටි නිසා ජනාධිපතිවරයාගේ කොමිසමට තටු හකුළා ගන්නට සිදුවිය. එසේ නොවිණි නම් කරන්නාගොඩලා මෙන්ම නාමල් රාජපක්ෂලා, මහින්දානන්ද අලුතගමගේලා, විමල් වීරවංශලා, රෝහිත අබේගුණවර්ධනලා, කපිල චන්ද්‍රසේනලා, උදයංග වීරතුංගලා, මිනීමැරුම් නඩුවක් සහිත ප්‍රේමලාල් ජයසේකරලාත් කොමිසම පෙන්නා අධිකරණයට වෙට්ටු දමන්නට ඉඩ තිබිණි. 

විධායක ජනාධිපතිවරයාගේ බලය පෙන්වා නීතියට ඉහළින් වැජඹෙන්නට ආණ්ඩුවේ දේශපාලනඥයින්ට අවස්ථාව ලබාදීමට විධායකය දැරූ පළමු උත්සාහය මෙසේ පරාජයවූ බව ඇත්තකි. එහෙත් පසුගිය කාලය පුරාවටම විවිධාකාරයෙන් අධිකරණයට අනතුරු හැඟවීම් කරමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ අනුව මෙය මෙතැනින් නතර වේයැයි සිතන්නට නොහැක. “නීතිය නම් මමය”යි කවරෙකු හෝ සිතන්නට පටන් ගන්නේ නම් එතැන් පටන් ඒ රටට සෙතක් නම් වන්නේ නැති බව සිහිපත් කළ යුතුය. 

එසේම ධුර කාලය ආරම්භයේදීම මෙවැනි අනවශ්‍ය ගැටුම් සඳහා තමන්ව පොළඹවන තමන්ගේ නීති උපදේශකයින්ගෙන් ප්‍රවේශම්වීමට ජනාධිපතිවරයා ද කටයුතු කළ යුතුය. නැතහොත් ඔහුටත් සිදුවනු ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූ දෙයමය. 

LANKAQNEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *