|

අල්පෙනෙත්ත හා ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස

මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය.අපේ රට වැනි රටක ඔහුට හෝ ඇයට ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, , ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ මාපියන්ගෙනි.

එසේ වුව ද මිනිස් ළදරුවා ස්වාධීනත්වය පතා කරන අරගලය අරඹන්නේ කුඩා අවදියේ පටන් ය. මුල දී දෙන කෑම ප්‍රතික්ෂේප කිරීමෙනි. ඊට පසු කාලයේ දී තහනම් කරන දෙය ම කිරීමට තැත් කිරීමෙනි. එහෙත් පොඩ්ඩ බැරි වන විට අඬන්නටත් පිහිට පතා කෑ ගහන්නටත් ඔහු අදි මදි කරන්නේ නැත. ස්වාධීනත්වය අගය කළේ වුව ද එහි දුර්විපාක ඔවුන් නොදනී, තනිකරම ස්වාධීන විමේ අවදානම ඉක්මණින් පසක් කරන්නේ ය.

තරුණ අවදියේ ඔහු ස්වාධීන වෙන්නට කරන උත්සහය නව වටයකින් අරඹන්නේ ය. තමන්ට කැමති දේ ගෙදරින් නැත්නම් පිටින් හෝ කන්නටත් තමන් කැමති යහළුවන් ආශ්‍රය කරන්නටත් කැමති සහකරුවකු සහකාරියක සොයා ගන්නටත් ඔවුනට වුවමනා වන්නේ ය. මේ අරගලය අවසන් වන්නේ ජීවත් වෙන්නට තමන්ගේ ම මාර්ගයක් සොයා ගෙන ස්වාධීන ජීවිතයක් ගත කිරීම අරඹමිනි.

එතෙකුදු මුල් පවුලට ඇති බැඳීම මුළුමණින් ගලවා දැමීමේ ලා ඔහු,ඇය අසමත් ය. එපමණක් නොවේ. තමන්ගේ නව ජීවන මාර්ගය නිසා ම තවත් අයගෙන් යැපීම ඒ සමගම ඇරඹෙන්නේ ය. ඒ එක්කෝ තමන්ට වැටුප් ගෙවන හාම්පුතුගෙන් ය. නැතිනම් තමන් වැටුප් ගෙවන කම්කරුවන්ගෙන් ය. අඩු වශයෙන් ඔය අතරතුර තමන්ගේ ම කිව හැකි කාලයක් ද ජීවිතයක් ද වැඩ කරන පැය ගණනින් ඔබ්බෙහි ඔවුනට හිමි ය. ඒ නිසා ම ස්වාධීන යැයි කිව හැකි දිවි පෙවතක් ඉතා කෙටි කලකට ඔවුහු රස විඳිති.

විවාහ වීමෙන් ඔවුන් නැති කර ගන්නේ මේ කෙටි කලකට රස විඳින්නට අවස්ථාව ලැබුණු ස්වාධීනත්වය ය. දරුවන් ලැබුණු පසු තවදුරටත් තමන්ට වුවමනා හැටියට කටයුතු කරන්නට වඩ වඩාත් දුෂ්කර බව ඔහු ඉක්මණින් පසක් කර ගන්නේ ය.

ඔහු තවදුරටත් මුළුමණින් යැපෙන්නේ නැත. ඔහු ස්වාධීන ද නැත. එකිනෙකා මත යැපෙන නව අවදියකට ඔහු,ඇය එළැඹ සිටී. මේ අන්තර් යැපීම තුළ ස්වාධීනත්වයේ නාම මාත්‍රයක් ඇතත් එය ද යැපීමක් බව ඉක්මණින් ඔවුන් තේරුම් ගන්නේ ය.

තනිව ජීවත් විය හැක්කේ රොබින්සන් කෘසෝලාට පමණ ය. ඒ සඳහා දූපතක තනි විය යුතු ය. කිසිවකු නැති දූපතක තනි විය යුතු ය. සෙසු සියල්ලෝ එකිනෙකා මත යැපෙමින් ජීවත් වන්නෝ ය.

එය පිළි ගන්නා බොහෝ දෙනකු පිළි නොගන්නා තව කාරණයක් තිබේ. ඒ නම් අපට ස්වයං පෝෂිත කණ්ඩායමක් ගොඩ නගා ගත නොහැකි ද යන්න ය. ස්වයං පෝෂිත රටක් ස්වයං පෝෂිත ජනවර්ගයක් ජාතියක් ගොඩ නගා ගත හැකි ද යන්න ය. තනියම ස්වාධීන වීමට බැරි නම් ඊළගට හොඳ දෙය හැටියට මිනිසුන්ට පෙනෙන්නේ ඒක ය.

කොදෙව්වක තනි පුද්ගලයකු ලෙස තනි නොවී ජාතියක් ලෙස තනි විය හැකි දැයි බැලීම එහි අරමුණ ය.

ඉතිහාස කතාව

අතීත ලෝකයේ එහෙම කොදෙව් තිබුණි. මුහුදෙන් වෙන් නොවුනත් වෙනත් ආකාරවලින් වෙන් වුණු කොදෙව් ද ඒ අතර තිබුණි. ඔස්ට්‍රේලියාවේ ඇබොර්ජින්වරුද උතුරු ඇමරිකාවේ රතු ඉන්දියානුවන් ලෙස අප හඳුන්වන ජන කොට්ඨාසය ද දකුණු ඇමරිකාවේ ඉන්කාවරු ද මායාවරුන් ද උතුරු අත්ලාන්තික් ප්‍රදේශයේ ඇස්කිමෝවරු ද එසේ වෙන වෙන ම ස්වාධීන ජීවත ගත කළ අය ය.

ඒ ජීවිත බොහෝමයක් සරල ය. ඔවුන්ගේ අවශ්‍යතා අතර ප්‍රමුඛ වූයේ එදිනෙදා ආහාර සොයා ගැනීම ය. ඇඳුම්වල අවශ්‍යතාවය පවා ආවේ සීත රටවල මිනිසුන්ට ය. නැතිනම් විලි වසා ගැනීමට කොළ අතු ටිකක් සෑහුණි. සැවොම එක්ව දඩයම් කිරීමෙන් ද ඵල වැල නෙළා ගැනීමෙන් අල හාරා ගැනීමෙන් ද කණ්ඩායමේ සාමාජිකයන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගැනිණි. තනි තනිවම ස්වාධීන නොවූවත් කණ්ඩායමක් ලෙස ඔවුහු ස්වාධීන වූහ. බාහිර කිසිවකුගෙන් යැපෙන්නේ නැතිව ආඩම්බරයෙන් ජීවත් වූහ.

සියල්ල වෙනස් වුණේ කෘෂිකර්මයත් සමග ය. එදිනෙදා ආහාර නොව මාස ගණනකට ආහාර එකවර ලැබුණු අතර ඒවා ආරක්ෂා කරගත යුතුව තිබුණේය. ඒ සතුන්ගෙන් පමණක් නොවේ. අහාර සොයා ඇවිදින වෙනත් ගෝත්‍රවලින් ද ආරක්ෂා කර ගත යුතු ව තිබුණි .

ගොවිතැන් කටයුතු බලා කියා ගන්නට වෙනම පිරිසකුත් වගාවන් අස්වැන්න හා දේපළ ආරක්ෂා කිරීමට වෙන ම පිරිසකුත් අවශ්‍ය වුණේ ය. පළමු අය වගා කටයුතු කළාට ප්‍රමාණවත් මදි ය. එක මොහොතකින් ඒවා පැහැර ගනු ලැබේ නම් ඒ ව්‍යායාමයෙන් වැඩක් නැත. දෙවනු අය ආයුධ දැරුවාට පමණක් වැඩක් නැත. ඔවුන්ගේ කටවල් ද බඩවල් ද පිරවීමට තවත් කවුරුන් හෝ වගා කළ යුතු විය. එකිනෙකා මත යැපෙන කණ්ඩායම් ඉදිරියට එන්නේ ඒ අනුව ය. අන්තර් යැපීම පුද්ගලයන් අතර නොව වෘත්තීන් අතර ඇති වන්නේ ඒ අනුව ය.

පුද්ගලික දේපළ අයිතිය රකින නීති පද්ධතියක් හා ඒ නීති ක්‍රියාත්මක කරමින් ගෝත්‍ර අතර ආරවුල් විසඳීමට මැදිහත් වෙන රජෙක් ද අවශ්‍ය වුයේ ඒ නිසා ය. ගෝත්‍ර කීපයක් එකතුව ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නැගුණේ ඒ අනුව ය. ප්‍රාදේශීය රාජ්‍යයන් අතර ගැටුම් උග්‍ර වන විට ඊට පිලියමක් ලෙස අධිරාජ්‍යයන් ද වුවමනා වූයේ ය. ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් එකතුව අධිරාජ්‍යයන් ගොඩ නැගුණේ එහි ප්‍රතිඵලයක් හැටියට ය. රජු හෝ අධිරාජයා ආරක්ෂාව සැපයූ අතර මිනිස්සු ඔහුට බදු ගෙවූ හ. එක්තරා දුරකට ඔහුගේ නොපනත්කම් ද ඉවසූහ. නොපනත්කම් ඉහවහා ගිය විට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කෙරුණු අතර එවැනි අධිරාජයන්ට කිරුළ ද ජීවිතය ද අහිමි කරනු ලැබුවේ ය. ඒ අහිමි වීම් අන්තර් යැපීම තේරුම් නොගැනීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ වන්දියක් ලෙස සලකනු ලැබී ය. ඇතැම් තැනක එක අධිරාජයකු පලවා හැරීමට තව අධිරාජයකුට උදව් කෙරුණේ ය.

අද වන විට ලෝකය අරුම පුදුම අන්තර් පැවැත්මකට උරුම කියන්නේ ය. වැදගත් කිසිම දෙයක් අද එක මිනිසකු නිපදවන්නේ නැත. එක රටක නිපදවන්නේ ද නැත.

චිත්‍රයක් අඳින චිත්‍ර ශිල්පියකු පවා කැන්වසය ගන්නේ වෙළෙඳ පොළෙනි. ඇතැම් විට ඒ ඉන්දියානු නිෂ්පාදනයක් විය හැකි ය. ඔහු භාවිතා කරන තීන්ත බොහෝ විට චීනයේ නිපදවෙන ඒවා වන විට පින්සල් ජපානයේ නිපදවෙන ඒවා වීමට ඉඩ තිබේ. චිත්‍රය මිලට ගන්නේ නෙදර්ලන්ත වැසියකු වුව ද අවසානයේ එය එල්ලා තැබෙන්නේ කැනඩාවේ නිවෙසක විය හැකි ය.

අන්තර් පැවැත්ම

මේ අන්තර් පැවැත්ම පිළිගන්නට බොහෝ දෙනකු කැමති නැත. ඔවුන්ගේ අභිප්‍රාය ස්වාධීන වීමට ය. ස්වෛරී වීමට ය. කිසිවකුගෙන් නොයැපී ජීවත් වීමට ය. එය උදාර අරමුණක් විය හැකි ය. එහෙත් එය අද සැලකිය හැක්කේ අමන විහිළුවක් ලෙස පමණ ය. ඒ ලෝකය වෙනස් වී ඇති නිසා ය.

ලෝකය වෙනස් වී ඇතැයි නොදැන අපේ අල්පෙනෙත්ති අප සාදා ගත යුතු යැයි ගෝරනාඩු කරන්නේ ඔවුන් ය. මහාචාර්යවරුන්ගේ නිවෙස්වල ගෙවත්තේ එළවළු ඔවුන් විසින් සාදා ගත යුතු යැයි යෝජනා කරන්නේ ඔවුන් ය.

වරදවා තේරුම් නොගැනීම උදෙසා මෙය ද කිව යුතු ය. ලාබෙට හදා ගත හැකි නම් අපේ අල්පෙනෙත්ති අප සාදා ගැනීම හෝ වෙලාව ඉඩකඩ තිබේ නම් එළවළු පාත්තියක් දා ගැනීම හෝ වැරැද්දක් නොවේ. එහෙත් වැරැද්ද ඒවා එසේ නොවීම ගැන බැණ අඩ ගසා ගැනීම ය. පසුතැවීම ය.

මඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසු වුව ද අමරදේව ලවා කුඹුරු කොටවා ගන්නට යෑමේ තේරුමක් නැත. නිවිතිවල කොතරම් යකඩ තිබුණ ද අයින්සටයින්ව ගෙවත්තේ නිවිති වගා කිරීමට පෙළඹවීමේ ද තේරුමක් නැත.

අප කළ යුත්තේ අපට වඩාත් හොඳින් කළ හැකි වැඩ ය. එයින් උපයන මුදල් ගෙවා අපට එතරම් හොඳින් කරන්නට බැරි වැඩ සෙසු මිනිසුන් ලවා කර ගැනීම පාපයක් වන්නේ නැත. ඇත්තටම අප දෙදෙනාට ම එයින් ඇතිවන්නේ ලාභයක් ය. බොහෝ දෙනකු මෙය කරන්නේ වුව ද ඔවුන්ගේ වැඩි මනාපය තියෙන්නේ අපේ දේ අපිම නිපදවා ගැනීමට ය. අඩු වශයෙන් තනිවම නැතත් රටක් ලෙස හෝ එය කර ගැනීමට ය. අල්පෙනෙත්ති රට තුළ නිපදවන්නේ නැති එක ගැන ඔවුන් ලසෝ තැවුල් නගන්නේ ඒ නිසා ය.

අපේ ඇඳුම් මිලට ගන්නා ඇමරිකාව මෙතරම් ලොකු රටක් වීත් තමන්ගේ ඇඳුම් තමන්ට ම නිපදවා ගන්නට බැරි වීම ගැන ඒ ආණ්ඩුවට දොස් තබන්නේ නැත.

අල්පෙනෙති ගැන ලොකුවට කතා නොකරතත් අඩු වශයෙන් අපට අවශ්‍ය බතවත් මෙහි ම නිපදවා ගත යුතු යැයි කියන අය බොහෝ ය. ඔවුන්ගේ තර්කය එවිට අපට ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය හැකි යැයි කියා ය.

අදහස් කරන්නේ බත් නම් අප දැනටමත් බතට අවශ්‍ය වීවලින්, සහලින්, ස්වයං පෝෂිත බව ආඩම්බරයෙන් කිව හැකි ය. එහෙත් ඒ ආඩම්බරය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ වී වගාව සහල් නිෂ්පාදනය හා අලෙවිය ගැන විපරම් කරද්දී ය.

ඒ වී වගාවට අවශ්‍ය පොහොර, කෘමි නාශක, වල්නාශක පමණක් නොව බිජ ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. කුඹුරට අවශ්‍ය ජලය සැපයෙන්නේ ද පිටරටින් ගෙන්වන සිමෙන්ති හා යකඩ යොදා ගෙන තනා ඇති නිර්මිතයන් ඔස්සේ නිසා ය. එපමණක් නම් මදෑ. වගා කටයුතු කිරීමට අවශ්‍ය කරන ට්‍රැක්ටර්, අස්වැන්න නෙළන සුනාමි භූතයන් වැනි යන්ත්‍ර ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එම යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් ඉන්ධන ලිහිසි තෙල් ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එසේ කපා ගත් අස්වැන්න සහල් කරන්නේ ද පිටරටින් ගෙනෙ යන්ත්‍ර සූත්‍රවලින් නිසා ය. ඒවාට අවශ්‍ය ලිහිසි තෙල් අමතර කොටස් ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එසේ කොටා ගන්නා සහල් පැකට් කරන්නේ පිටරටින් ආනයනය කරන මළුවල අසුරා නිසා ය. ඒවා ප්‍රවාහනය කරන්නේ ද පිටරටින් ගෙනෙන ඩිමෝ බට්ටන් නැතිනම් ඉසුසු ලොරිවලින් නිසා ය. ඒවාට අවශ්‍ය ඉන්ධන ගෙනෙන්නේ ද නැවතත් පිටරටින් නිසා ය.

අතීතයට ආපසු යෑම

අතීතයේ මේ කෝලම් තිබුණේ නැත. බීජ අපේ ගොවියා හදා ගත්තේ ය. පරහකට තිබුණේ අස්වැන්න මේ තරම් විශාල නැතිවීම පමණ ය. අවශ්‍ය ජලය ද ගස් කඳන් හෝ ගල්වැටි හා මැටි යොදා ගනිමින් තනා ගත් අමුණු භාවිතා කොට ලබා ගත් ඒවා ය. පරහකට තිබුණේ ඒවායින් හැරවිය හැකි ජල ප්‍රමාණය සීමා සහිත වීම ය. පොහොර හැටියට යොදා ගැනුණේ පිදුරුත් ගොමත් පමණ ය. පරහකට තිබුණේ අස්වැන්න ඒ හැටියකට නොලැබීම පමණකි.

ට්‍රැක්ටර් නොතිබුණු බව ඇත්ත ය. එහෙත් ඇතිවෙන්න මී හරක් හිටියේ ය. පමා වී හෝ වැඩේ කෙරුණේ ය. තෙල් බෙහෙත් නොතිබුණු බව ඇත්ත ය. අස්වැන්න හානි වුව ද අස්වැන්නක් කෙසේ හෝ ගැනීමට තිබුණු දේශීය ක්‍රමවලින් උදව්වක් ලැබුණි. මිනිස් ශ්‍රමය විශාල වශයෙන් අවශ්‍ය වුව ද දැන් කාලයේ මෙන් නොව ඇති වෙන්නට එය තිබුණු බැවින් යන්ත්‍ර නැතිව වැඩේ කර ගත හැකි වුණි. ප්‍රවාහනයට කරත්ත තිබුණේ ය.

සැබෑ ලෙස ස්වයං පෝෂිත වෙන්නට නම් කළ හැකි එක් දෙයක් නම් ඒ පරණ යුගයට නැවත යෑම ය. එහෙත් ඒ සඳහා දැන් ඉන්නා මිනිසුන්ගෙන් සියයට අනූවකටත් වැඩියෙන් අතුරුදහන් කළ යුතු ය. පැරණි ක්‍රම වේදයන්ගෙන් මේසා විශාල ජනතාවකට ආහාර සැපයිය නොහැකි නිසා ය. ඒ ක්‍රම වේදයන්ගේ අප සඳහන් කළ පරහ ‌කොරහ තිබුණු නිසා ය. අඩුපාඩු තිබුණු නිසා ය.

ඒ තත්වය යටතේ සම්පූර්ණයෙන් ස්වයං පෝෂිත වීම විහිළුවක් පමණ ය. ඒ නිසා ම සම්පූර්ණයෙන් ස්වෛරී ස්වාධීන රටක් තනිව හැදීම ද හීනයක් පමණ ය.

මේ සියල්ල තේරුම් ගන්නා මිනිසුන් නව ලෝකය තුළ අන්තර් පැවැත්මකට හිත හදා ගනු ඇත. සෙසු මිනිසුන් සමග බෙදා හදා ගැනිමට හිත හදා ගනු ඇත. ස්වාධීන ස්වෛරී රටවල් හැදිය හැක්කේ සෙසු රටවල් සමග එක්ව ලෝකය බෙදා ගැනීමෙන් මිස, ඔවුන් සමග ඒ සඳහා එකඟතාවයන්ට පැමිණීමෙන් මිස, අපේ දේ අපම හදා ගැනීම උදෙසා බදා ගැනීමෙන් නොවන බව ද මානව ශිෂ්ටාචාරයේ සෙසු ඇගයිම්වලට පිටුපෑමෙන් නොවන බව ද පසක් කර ගෙන ඒ අනුව ජීවත් වනවා ඇත.

අපට බත හදා ගැනීමට අවශ්‍ය දේ පමණක් නොව සුවපහසු ජීවිතයකට අවශ්‍ය දේ ද පිටරටින් මිල දී ගත හැක්කේ අපට ඒ වෙනුවට ඔවුන්ට දිය හැකි දෙයක් තිබේ නම් පමණ ය.

අප දැනට දෙන්නේ මොනවා ද? වැඩි මනත් ලෙස ලාභ ශ්‍රමය ය. එය එක්කෝ කෙළින්ම ගෘහ සේවිකාවන් හා කම්කරුවන් අපනයනයෙන් ය. නැතිනම් ඒ ලාභ ශ්‍රමය තේ දල්ලකට හෝ අඳින පළඳින ඇඳුමකට එක් කර ඒ හරහා ය. ඒත් නැතිනම් විදේශ සංචාරකයින්ට සේවා සැපයීම හරහා ය. ඒවා එකකට වත් එහෙමට මිලක් ලැබෙන්නේ නැත.

හෙට දවස

අප තරමක් කුඩාවට නමුත් ඉහළ මිලක් ගන්නා දේ ද කරමින් සිටිමු. ඒ මෘදුකාංග කර්මාන්තයේ ය. ලන්ඩන් කොටස් වෙළඳ පොළ දුවන්නේ අපේ රටේ ආයතනයක් විසින් කළමනාකරණය කරනු ලබන මෘදුකාංගයක් හරහා ය.

ඒ නිසා ලන්ඩන් වැසියෝ හීනමානයෙන් පෙළෙන්නේ නැත. ඒකවත් කරගන්නට අපට බැරි දැයි කියමින් කම්පා වෙන්නේ නැත.

අපි ජෙට් යානාවලට අවශ්‍ය ටයර් නිශ්පාදනය කරමින් සිටිමු. ජෙට් යානා නිපදවන රටවල් ජෙට් නිපදවන අපට ටයර් එකක්වත් හදා ගන්නට බැරි මන් දැයි අසමින් විස්සෝප වන්නේ නැත. අපි මෝටර් රථ සඳහා හදිසි අනතුරක දී පිම්බෙන බැලුමට අදාළ උපාංගයක් නිපදවමින් සිටිමු. ටොයෝටා අයිතිකරුවන් තමන්ට ම ඒ දේ කරගන්නට බැරි වුණා යැයි සිතමින් කම්පා වන්නේ නැත.

අප ද අල්පෙනෙත්තට කම්පා වීම නතර කළ යුතු ය.

අප සෙවිය යුත්තේ එවැනි ඉහළ අගයක් ගත හැකි අපට කළ හැකි නිපදවීම් මොනවා ද යන්න ය. ගෘහ සේවිකාවන් මැදපෙරදිගට යවනවා වෙනුවට උගත් පුහුණු හෙදියන් වෛද්‍යවරුන් ඉහළ වැටුපකට යුරෝපයට යැවිය හැකි ද යන්න ය. ලෝකයේ ම නැතත් කලාපයේ සෙසු රටවල සිසුන්ව හෝ ආකර්ෂණය කර ගත හැකි උසස් අධ්‍යාපන ආයතන බිහි කළ හැකි ද යන්න ය. එසේ නොකොට අල්පෙනෙත්ති පසු පස යන්නේ මෝඩයෝ ය. පුංචි දරුවකු මෙන් අපි ද රටක් හැටියට කාලයක් පරාධීනව සිටි‌මු. ඉන්පසු තරුණයන්ට මෙන් ම අපට ද රටක් හැටියට ස්වාධීනත්වය ලැබිණි.

ඒ අහංකාර වන්නට නොව නව අන්තර් පැවැත්මකට යෑමට ය. අල්පෙනෙත්ත ළඟ නතර නොවී ලෝකය සමග යුග දිවියකට පිවිසීමට ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *