දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්.කේ.  වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(06) වරෙන්තු නිකුත් කළේය.

අදාළ ලේකම්වරියට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ අතර එමෙන්ම එම තැනැත්තියගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය කේ. පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කරනු ලැබුවාය.

නීති විරෝධී ලෙස අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් විසින් දේශපාලන පලිගැනීම් කොමිසමට කර ලද පැමිණිල්ලකට අනුව එම නඩුවට අදාළ ලේඛන එම කොමිසම බාරයට ගෙන තිබුණි.

ඒවා අද දින අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම කොමිසමේ ලේකම් වෙත නොතීසි නිකුත් කර තිබුණත් එම ලේකම් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැති බව වාර්තා වෙයි.

මෙය අධිකරණ ක්‍රියාදාමය හෑල්ලු කිරීමක් යැයි ප්‍රකාශ කළ අතර පුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කළේය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *