ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ව්‍යවස්ථා වෙනස – මහින්ද රත්නායක

පොරපිටියේ පසුගිය සටහන තුළ, මේ වසර මෛත්‍රී/රනිල් ආණ්ඩුවට තීරණාත්මක වසරක් වන බව පෙන්වා දුන් ආකාරයට ම සිදුවීම් දිගහැරෙමින් පවතී. නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ යෝජනාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එම යෝජනාවට අදාළව ජනාධිපතිවරයා කළ කථාව නව ආණ්ඩුක්‍රමයක් අපේක්ෂා කරණ කාගේත් පැසසුමට ලක්වූ හ. ඒකීය හා සන්ධිය යන ආණ්ඩුක්‍රම දෙකට, පිළිවෙලින් උතුරේ හා දකුණේ ජනතාව බියක් දක්වන බව ජනාධිපතිවරයා ඒ කථාවේ දී අවධාරණය කළේ ය. ජනාධිපතිවරයාගේ කථාවෙන් ව්‍යාංගයෙන් කියැවුනේ මේ දෙක අතර පවතින ආණ්ඩුක්‍රමයක් රටට ගැලපෙන බව යැයි සිතිය හැක.

පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ඒමට පෙර ඇති වූ සාකච්ඡා වල දී යම් පසුබැස්මක් තිබුණේ වී නමුත් දෙමළ සන්ධානයේ එකගත්වයක් නැති ව්‍යවස්ථාවක් සකස් නොවන්නේ නම් නව ව්‍යවස්ථාව ප්‍රයෝජනයක් නොවන බව ජනාධිපතිවරයා පවසා තිබුණි. ඒ අනුව ඒකීය වචනය තබාගෙන 13වෙනි සංශෝධනයට එහා යන බලය බෙදීමකට නායකයින් දෙන්න එකග වි සිටින බවක් පෙනේ.

නායකයින් දෙදෙනාගේ එකගතාවය එසේ තිබිය දී නමුත් ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ එකගතාවය හෝ ලබාගැනීමට ජනාධිපතිවරයාට මෙතෙක් සමත් වී නැත. සම්මුතිවාදි ආණ්ඩුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර මේ පිළිබඳ එකගතාවයක් නැති බව පසුගිය සතියේ ඔවුන් කළ ප්‍රකාශවලින් පැහැදිළිව දක්නට තිබුණි. විශේෂයෙන්ම අභයාරාම පාර්ශවයෙන් එන විවේචන සමග ඉදිමින් ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැතිව තිබිය දී් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යායාමය කඩාකප්පල් කිරීමට ඔවුන් උත්සාහ දරණ බව ය. එසේත් නැත්නම් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පසෙක තබා සුළු සංශෝධන කිහිපයකින් වැඩය අහවර කිරීම ඔවුන්ගේ අභිප්‍රය වී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් යමක් කරන බවක් ද නොපෙනේ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මහජනතාවගෙන් අදහස් ලබාගැනීමේ සූදානමක් ඇතත් මේ සඳහා ජනතාව උනන්දුකර ඉදිරියට ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ද වගකීමක් ඇත. නමුත් ඔවුන් ද ඒ වගකීම කරටගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් එසේ කටයුතු කරන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ද සෘජු ලෙස තමන්ගේ අදහස පැහැදිළිව කියන්නට සිදුවන්නේ ය. සුපුරුදු ලෙස එක්සත් ජාතික පාක්ෂිකයින් බලන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට වඩා රාජපක්ෂලාගේ වාරය අවසන් බැවින් තමන්ගේ වාරය තුළ තමන්ට යමක් කමක් කරගැනීමට ය. ආකල්පමය වශයෙන් ගත් කළ මේ පක්ෂ දෙකේම සාමාජිකයින්ගේ වෙනසක් ඇතිබවක් ඒ අනුව නොපෙනේ.

මේ ආකාරයට පක්ෂ දෙකේම පාක්ෂිකයින් බල අරගලයක නිරත වී සිටින අතර රටේ ආර්ථිකය බරපතල අවදානමකට ලක්වීමට නියමිතව තිබේ. පසුගිය දා පැවති ආර්ථික සමුළුවේ දී විවෘත නොවූ සාකච්ඡා වල දී වෘත්තිය සමිති ව්‍යපාරයට අහිතකර තීන්දු තීරණ ගෙනෙන්නට නියමිත වූ බව ද දැනගන්නට ඇත. තව ද ඒවා අනපනත් වලට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යවස්ථාවටත් ඇතුල් කිරීමේ සූදානමක් ඇතිබවට වන රාවයක් පැතිරෙමින් පවති. සැබැවින්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ මෙවැනි තීන්දුවකට පැමිණ ඇත්නම් එය සියතින් ගෙල වැළලා ගැනීමක් වනු ඇත. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති වර්ගවාදයට එරෙහිව පෙළ ගැසුනු බලවේග සතුරන් කරගැනීමෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් තබා ආණ්ඩුව පවත්වා ගැනීමට ද හැකිවන්නේ නැත. කෙසේ නමුත් ආණ්ඩුව රදාපවතින බලවේගයන් පිළිබඳව සංවේදී නොවන්නේ නම් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ දී පරාජයවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ නිසා ආර්ථික සමුළුවෙන් පසු කම්කරු පංති ව්‍යවාපාරය තුළ ලියලමින් ඇති මේ සැකය දුරුකිරීම ආණ්ඩුවට ගුණදායක වනු ඇත.

මෙපමණක් ද නොව මෙනම හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට විරුද්ධ, මෛත්‍රි/ රනිල් ආණ්ඩුව පිහිටුවීමට මුල් වූ පුරවැසි හා සිවිල් සංවිධාන ද පසුවන්නේ මේ ආණ්ඩුව කෙරෙහි සතුටකින් නොවේ. ආණ්ඩුව හා ඔවුන් අතර තිබුණු සම්බන්ධතාවය ටිකෙන් ටික දුරස් වෙමින් පවති. ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් යනතුරු මේ සංවිධානවල නායකයින්ට තමන් පත්කළ නායකයින් හමුවීමට අවස්ථාව ලද නමුත් එවැනි අවස්ථාවන් දැන් විවර නොවන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. සැබවින්ම ඔවුන් අපේක්ෂා කරන්නේ නව ව්‍යවස්ථාව මේ ආණ්ඩුව මගින් සම්පාදනය කරවාගැනීමට ය. පාර්ලිමේන්තුවේ සිටින් මන්ත්‍රිවරුන්ගෙන් අතිමහත් බහුතරයකට අමාත්‍ය පදවි පිරිනැමීම ගැන මෙන්ම පරාජිතයින් පාර්ලිමේන්තුවට නැවත ගැනීම සම්බන්ධ යෙන් ඔවුන් නිහඬව සිටියේ එම කාර්ය ඉටුකරවා ගැනීමට කරන කැපකිරීමක් ලෙසට ය. එය ද සිද්ධ නොවෙන තැනකට වැඩකටයුතු කෙරෙන්නේ නම් මේ ආණ්ඩුවට පැවැත්මක් නොමැති බව ඉතා පැහැදිළි ය. එහෙයින් ඉදිරි මාස 6 තුළ මේ ආණ්ඩුව කරන කියන දේ අනුව ආණ්ඩුවේ ඉරණම තීරණය කරනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *