එයාර් බස් වංචාව : මිලියන 25ක් ගිණුමට දාන්න උපදෙස් දුන් 27 හැවිරිදි පුද්ගලයා මිය ගිහින් !

එයාර් බස් වංචාවේදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 25ක් එස්. එල්. ඇග්‍රෝ නම් සමාගමේ ගිණුමට බැර කරගන්නා ලෙස එම සමාගමේ හිමිකරුවන්ට උපදෙස් ලබාදී ඇත්තේ යොහාන් අබේවික්‍රම නමැති පුද්ගලයකු බවත් ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් ඊයේ (04) අධිකරණය හමුවේ අනාවරණය විය. 

එම එස්. එල්. ඇග්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ යොහාන් අබේවික්‍රම නමැත්තෙකුගේ ඉල්ලීම මත මෙම මුදල ගිණුමට බැරකර ඇති බවයි. එම පුද්ගලයා මේ වනවිට මියගොස් ඇති බව ද ඔහු මියයන විට 27 වැනි වියේ පසුවී ඇති බව ද අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි. 

එස්. එල්. ඇග්‍රෝ සමාගම ලියාපදිංචි කර ඇත්තේ අලිගැට පේර ව්‍යාපෘතියක් සඳහා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළ අතර ගල්කිස්ස ප්‍රදේශයේ ලිපිනයකට මෙය ලියාපදිංචි කර ඇතත් එම ලිපිනය හෝ තොරතුරු සොයාගැනීම අපහසු වූ බවත් සඳහන් කළේය. 

අදාළ සමාගමට රුපියල් මිලියන 25ක් ලැබී ඇති අතර 2014 දෙසැම්බර් 02 වනදා එම මුදල චෙක්පත් 04ක් මගින් ගිණුමෙන් ඉවත් කරගෙන ඇති බවත් එයින් මිලියන 17ක් අවස්ථා දෙකකදී මාරු කරගෙන ඇති අතර ඉතිරි මුදල තමන් විසින් මාරු කරගත් බව එස්. එල්. ඇග්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයා පැවසූ බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරිණි. 

ඒ අනුව එම චෙක්පත් මාරු කළ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සාරංග විජයන්ත නමැත්තෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිටින බව ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇති බවත් ඉදිරියේදී ඔහුව සාක්ෂි සඳහා කැඳවීමට බලාපොරොත්තු වන බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. 

මෙය බැංකු ගිණුම් අතර සිදුවූ ගනුදෙනුවක් හෙයින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති හෙයින් තම සේවාදායකයින්ට මේ සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකි නිසා ඔවුන්ට ඇප ලබාදෙන ලෙස කපිල චන්ද්සේන මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ නීතීඥවරුන් අධිකරනයෙන් ඉල්ලා සිටි අතර ඔවුන් ඇප මත නිදහස් කරන ලදී. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *