නව වසරේ ගනුදෙනුව – මෛත්‍රී රට පටලවා ගැනීමේ අර්බුදය – සී ජේ අමරතුංග

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයගෙන වසරක් සම්පූර්ණවීම පසුගියදා සමරනු ලැබීය. මීට පෙර මෑත කාලයේ තිබූ ජනපති පදවි ප‍්‍රාප්ති උත්සව තරම් සෝබනය හා මහජන මුදල් නාස්තිය සිදු නොවුණද මෙම සැමරුම පිළිබඳව ඇතැමුන්ගේ විවේචන තිබිණි. එහි ඇතැම් අංග සංවිධානය කොට තිබුණේ පෙර මෙන්ම මහරජුන් පිළිබඳ ස්තෝත‍්‍ර ගැයීමේ ආකාරයෙනි. රජයේ විවිධ ආයතනවලින් දැන්වීම් පළකොට තිබුණේද අතීත සිදුවීම් සිහිගන්වන ආකාරයෙනි.

ජනාධිපති පදවිප‍්‍රාප්තියේ ඇතැම් සැමරුම් අංග පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා පෙරළියට පෙරමුණගත් බලවේගවල පවා දැඩි විවේචනයට ලක්වීය. ඇතැම් නිර්මාණ තමන්ගේ නොවන බව නිවේදන නිකුත් කරන්න පවා ජනාධිපති කාර්යාලයට සිදුවීමෙන් පෙනී ගියේ වැඩ වරද්දාගෙන තිබූ ආකාරයයි. ‘‘නුඹ අපේ මිනිහෙක්’’ නමින් ප‍්‍රචාරය කළ දර්ශන ගීතයේ ජනාධිපතිවරයා පරාක‍්‍රමබාහු, විජයබාහු වැනි රජෙකුට අන්දවන්නට උත්සාහ දරා තිබිණි. එයට එල්ල වූ විවේචන හමුවේ එය තම නිර්මාණයක් නොවන බව ජනාධිපති කාර්යාලය කීවද එහි නිර්මාණකරුවන් කියා ඇත්තේ තමන් එය කළේ ඉහළම තැන්වල අනුමැතිය ඇතිව බවයි.

රටේ අනෙක් සියලූ දේ හොඳින් සිදුවන්නේ නම් මෙබඳු සිදුවීමක් කෙනකුට පහසුවෙන් අමතක කර දැමියහැක්කේ අත් වැරැුද්දක් වශයෙනි.  එසේ වුවද වසරක කටයුතු සමරන අවස්ථාවේ ඉදිරිපත් වූ බොහෝ ඇගයීම්වලදී මෙන්ම විවේචනවලදීද නැවත නැවත මතු වූයේ මෙම තත්ත්වය අහම්බයක්  නොවන බවයි. බොහෝදෙනා කීවේ ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහණයෙන් ලබාගත් දේ ඉතාම වැදගත් වුවද, දේශපාලනයේ ඉතා වැදගත් යහපත් ප‍්‍රතිලාභ ලැබී තිබියදීම, එය තවමත් පැරණි නරාවළට ඇදීයාමේ තත්ත්වයක් නිතර නිතර මතුවන බවයි. පදවි ප‍්‍රාප්ති සැමැරුමේ සිදුවීම් වලින්ද පෙන්නුම් කළේ හරියටම එම තත්ත්වය බව පෙනෙන්නට ඇත.

අප පසුපස හඹා එන තක්කඩි දේශපාලනය

පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා මෙරට තීරණාත්මක බල පෙරළියක් වූ බව පැහැදිලි කාරණයකි. පසුගියදා අප සැමරුවේ එම ජයග‍්‍රහණයයි. ඒ සමඟම අපට ඉදිරියට යාමට සිදුව තිබෙන්නේ එදා සිදුවූ ජයග‍්‍රහණයෙන්ද, ඉන් පසුව මේ දක්වා අප අත්පත් කරගෙන ක‍්‍රියාවට නඟා ඇති දේශපාලන පරිවර්තන මෙන්ම ඒ සමඟම අතීතයෙන් උරුමකරගෙන මේ වනතෙක් අත්හරින්නට නොහැකිව කර තබාගෙන යන අත්හළ යුතු දෑ සියල්ලද සමඟය. එහිදී අපට තිබෙන්නේ සම්පූර්ණ  සුන්දර අත්දැකීම් හා උරුම නොවන බව කවුරුත් දන්නා කාරණයකි. අභියෝගය තිබෙන්නේ යහපත් දේ රැුකගෙන අයහපත පරාජය කිරීමයි. මහජන අභිලාෂය එය වුවද අපට නැවත නැවත පෙනෙන්නේ කෙතරම් ප‍්‍රතික්‍ෂේප කොට යටපත් කරන්නට හැදුවද අතීතයෙහි උරුම තක්කඩි දේශපාලන හැසිරීම් නැවත නැවත අප පසුබස හඹා එන බවයි.

පසුගිය වසරේ බල පෙරැුළියෙන් මෙරට ජනතාව ලබාගත් විශාලතම ජයග‍්‍රහණය නම් ඒකාධිපති හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් අවසන්කර දැමීමයි. තම ශක්තිය නිසාම තමන්ට ඉතිරිව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ යොදා ගනිමින් ඒකාධිපති ගමනක් අවසන් කරන්නට මහජනයාට හැකිවූයේ ඊට මාස කිහිපයකට පෙර නොසිතූ විරූ ආකාරයෙනි.  එක පවුලක් හා එයට කත් අදින සුළු පිරිසක් අත ඒකරාශිවෙමින් තිබූ බලය එක රැුයින් පෙරළා දමනු ලැබීය. එය සිදුවූයේ යළි කිසිදාක කිසිදු පාලකයකුට එබඳු ඒකාධිපති ගමනක් යාමට ඉඩකඩද අසුරන ආකාරයෙනි. එය නම් පහසුවෙන් ආපසු හැරවිය නොහැකි ජයග‍්‍රහණයකි.

මෙම බල පෙරැුළියට පෙරමුණ ගත් බලවේගයේ ප‍්‍රමුඛ සටන් පාඨයක් වූයේ යහපාලනය යන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ, ¥ෂණ පිටුදැකීම, විනිවිද භාවයෙන් යුතු පාලනය මෙන්ම සදාචාරවත් දේශපාලනය ආදී සියලූ දේ යහපාලනය යන සටන් පාඨය තුළ ගැබ්ව තිබිණි.

කෙසේ වෙතත් මෙම අරමුණු හා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් නොවන බව මුල සිටම පෙනෙන්නට තිබිණි. රාජපක්‍ෂ පාලනය පෙරළා දැමුවද පාර්ලිමේන්තුවේ ඒ වන විටත් බහුතරය තිබුණේ ඔවුන් අතය. ශ්‍රීලනිප නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන විට එය භාරගැනීම නිවැරැුදි බව ඇතැමුන් සිතුවේ මෙම බලවේගයේ සහාය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා ලබාගත හැකිවේය යන විශ්වාසයෙනි. එසේ වුවද බොහෝවිට දකින්නට ලැබුණේ සියලූ ප‍්‍රතිසංස්කරණවලට හරස්වීම මෙම බලවේගයේ ප‍්‍රතිපත්තිය වී තිබූ බවයි.
ඊළඟට අපට දකින්නට ලැබුණේ මෙම අරගලය තුළම ඇතැම් යහපාලන මූලධර්ම විනාශයට යන ආකාරයයි. එය සිදුවූයේ දේශපාලන බල අරගලයේ අවශ්‍යතා සඳහාය.

රාජපක්‍ෂ පාලනය සමඟ සිටි බොහෝ මැති ඇමැතිවරුන් ¥ෂිතයන් වී සිටි බව මහජනයා දැන සිටි කාරණයකි. පසුගිය වසරේ ජනවාරි අටවැනිදා මහජනයා ඡුන්දය දුන්නේ එබඳු පිරිස් බලයෙන් පහකරන්නට පමණක් නොවේ. ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා සොයා බලා ¥ෂණ හෙළිදරව්කරගෙන දඬුවම් කරන්නටය.

දුෂිතයන්ගේ ආගමනය

එසේ වුවද බල පෙරැුළියෙන් ටික කලෙකට පසුව අපට දකින්නට ලැබෙන්නේ වෙනත් ක‍්‍රියාවලියක් ආරම්භ වී තිබෙන ආකාරයයි. එනම් ¥ෂිතයන් ලෙස මහජනයා හඳුනාගෙන සිටි උදවිය පැති මාරුකර ඇමැති ධූර, තානාන්තර ලබා ගනිමින් සුදනන් වන ආකාරයයි. ඒ සමඟම ඔවුනට තිබූ ¥ෂණ චෝදනා වාෂ්ප වී යන බවක්ද පෙනෙන්නට තිබේ. මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ එබඳු විශාල පිරිසක් යෙහෙන් වැජඹෙන ආකාරයයි. ඥාති සංග‍්‍රහය ගැන කියැවෙන චෝදනාද සරල නොවේ. වරාය අමාත්‍යාංශය ඊට නිදසුනකි. හිරුණිකා සිද්ධියෙන් රජයට අත්වූයේ තවත් අප‍්‍රසාදයකි. ඇයට ඇප ලැබීමේ ක‍්‍රියාවලියද දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

මෙම ක‍්‍රියාවලිය සාධාරණීකරණය  කිරීමට පෙනීසිටි උදවිය කීවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා මෙලෙස අල්ලස් දී හෝ සහය ලබා ගැනීම අවශ්‍ය බවයි. එසේ කීවද මෙම ක‍්‍රියාවලිය නිසාවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට සම්පූර්ණ සහායක් ලැබුණේද නැත. වැදගත් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් ක‍්‍රියාත්මක කළ හැකි වූයේ විශාල ලෙස වූ බාධාකිරීම් මධ්‍යයේය.  ඇතැම් ප‍්‍රතිසංස්කරණ තවමත් ක‍්‍රියාවට නැඟීමට හැකිවී නැත. මේ වනවිටත් දකින්නට ඇත්තේ ඒ සියල්ලට අකුල් හෙළන්නට තිබෙන සූදානමයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහනවවන සංශෝධනය සම්මත කරගැනීම මෙම කාලයේ සිදුවූ වැදගත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයකි. එහිදී ද සම්මත වූයේ මුලින් ඉදිරිපත් කළ යෝජනාව නොවේ. සම්මත වූයේ තටු කපා හෑල්ලූ කරන ලද සංශෝධනයකි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළ යෝජනාවකි. ස්වාධීන කොමිෂන් පත්කිරීමේ වැඩි බලය දේශපාලනඥයන්ට හිමිවන ආකාරයේ සංශෝධනයකි. පාර්ලිමේන්තුවේ බලය ප‍්‍රමාණවත් තරම් වර්ධනය නොවූ සංශෝධනයකි. එසේ වුවද ඒ තරමින් හෝ එය සම්මත කරගත හැකිවූයේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් කැපවීම නිසා බව නම් කවුරුත් දන්නා කාරණයකි.

අංචි ඇදිල්ලේ ඉවරයක් නැති හැටි

මනාප ඡුන්ද ක‍්‍රමය අහෝසි කරන විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලැබුණේ නැත. තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත සම්මත කිරීම නැවතුණේ අන්තිම මොහොතේ කකුලෙන් ඇදීම නිසාය. ඒ සියල්ල කරන්්නට සිදුව තිබෙන්නේ දැන්ය. එහිදී ද පෙනෙන්නට තිබෙන්නේ අංචි ඇදිල්ලේ ඉවරයක් නැති බවයි.
මෙලෙස යහපාලනයේ නායකයන්ට දිගින් දිගට මුහුණදීමට සිදුව තිබෙන්නේ විශාල ප‍්‍රතිරෝධයකටය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වචනයෙන් කිවහොත් ප‍්‍රතිවිප්ලවයකටය. දැන් දිගින් දිගටම පෙනෙන්නට තිබෙන්නේ මෙම බලවේග අතර ගැටුමයි.

මෙහිදී විශාලතම හානි සිදුවී තිබෙන්නේ යහපාලන පෙරමුණට යැයි කිවහොත් එය අතිශයෝක්තියක් විය නොහැකි යැයි සිතේ. එයට ප‍්‍රධාන හේතුව නම් යහපාලනයේ නායකත්වයේ හැසිරීම වෙනස් කිරීමට හා එයද දේශපාලන සදාචාරයෙන් ඉවතට ඇද දමන්නට ¥ෂිත බලවේගවලට හැකිවී තිබීමයි.

යහපාලනය සඳහා සටනේ එයට නායකත්වය දෙමින් ජනාධිපති තනතුරට තෝරාගන්නා ලද්දේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. එහිදී ඔහුට පැවැරුණු වගකීම නම් යහපාලනයේ අභිලාෂ ඉටුකිරීමයි. එම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නඟමින් සදාචාරවත් දේශපාලනයකට මඟ විවර කිරීමයි.

මෛත්‍රීට වැටෙන තොප්පි

කෙසේ වෙතත් මෙම කාර්යභාරයට මුහුණදෙන විට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තවත් තොප්පියක් වැටුණි. එය නම් ශ්‍රීලනිපයේ හා සන්ධානයේ නායකත්වය පිළිබඳ තොප්පියයි. එනම් ජනවාරි අටවැනිදා ¥ෂිතයන් ලෙස ජනතාව විසින් පන්නා දමන ලද බලවේගයේ නායකත්වයයි. දැන් එම බලවේගයේ අභිලාෂ වෙනුවෙන් ක‍්‍රියා කිරීමටද මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සිදුව තිබේ.

පසුගිය වසරේ ජනවාරි අටවැනිදා වන විට නොතිබූ අරමුණක් දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇත. එනම් ඉදිරි කාලයේ සන්ධානය යළි බලයට ගෙන ඒමයි. එනම් යහපාලනයේ තම සගයා වූ එජාපය ඉදිරි මහ මැතිවරණයකදී  පරාජය කිරීමයි.

¥ෂිතයන්ට එරෙහිව ක‍්‍රියාකිරීමේ අරමුණද මෙම තත්ත්වය යටතේ දියාරුවී යන බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය රජය කාලයේ ¥ෂිතයන් ලෙස ජනතාව හඳුනාගත් පිරිස සිටින්නේ ශ්‍රීලනිපයේ හා සන්ධානයේය. ඔවුන්ට එරෙහිව ක‍්‍රියා කිරීම හා සන්ධානය බලයට ගෙන ඒම යන අරමුණු එකට පෑහෙන්නේ නැත.

ළැදියාවන්ගේ ගැටුමක්

මෙවැනි තත්ත්වයකට කියන්නේ ළැදියාවන්ගේ ගැටුමක් බවයි. එබඳු තත්ත්වයකදී කෙනකු කළ යුත්තේ හැකිනම් ළැදියාවන්ගේ ගැටුමෙන් ඉවත්වීමයි. නැතහොත් තීරණ නොගෙන සිටීමයි. එසේත් නැත්නම් විනිවිද භාවයෙන් තීරණ ගැනීමයි. කුමක් කළද වඩාත් නිවැරැුදි වන්නේ කල් නොයවාම මෙම ගැටුම කිසියම් ආකාරයකින් විසඳාගැනීමයි.

මේ වනවිට මහජනයාගේ පැත්තෙන් චෝදනා එල්ලවන්නේ ¥ෂිතයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීම දුර්වල බවයි.  සියලූ දේ හොඳින් සිදුවන බව ආණ්ඩුව කීවද මහජනයාට පෙනෙන්නේ එදා ¥ෂණවල යෙදුනවුන් අද ද යෙහෙන් වැජඹෙන බවයි. තෝරාගත් පිරිසකට පමණක් සිල්ලර චෝදනා එල්ලකරන  බවද කෙනෙකුට කිව හැකිය.

මෙලෙස ¥ෂණ පරීක්‍ෂණ ඉබි ගමනේ යාමට ඇතැම් විට ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ හෝ බලපෑමක් නොමැති වීමට ඉඩ ඇත. එසේ වුවද චෝදනා ලැබූවන්ට තනතුරු පිරිනමා තිබියදී එවැනි බලපෑම් නැති බව මහජනයාට එත්තු ගැන්විය නොහැකි වීම පුදුමයක් නොවේ. අනෙක් අතට මොවුන්ට ලැබූ තනතුරුවල බලයම ඇතැම් පරීක්‍ෂණ යට ගසන්නට ප‍්‍රමාණවත් වීමද පුදුමයක් නොවේ.

ජනාධිපතිවරයා පැටලූණු මෙම ළැදියාවන්ගේ ගැටුම තුළ තවත් බොහෝ දේ සිදුව ඇත. ජනතාව ප‍්‍රතික්‍ෂේපකොට ගෙදර යැවූ හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්වීමේ වරම් ලැබිණි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේ එජාපයට තුනෙන් දෙකේ බලයක් ලැබීම වැළැක්වීමට එසේ කළ බවයි. එයද ජනාධිපති තනතුර ලැබීමෙන් පසුව ගොඩනඟාගත් අලූත් ළැදියාවේ ප‍්‍රතිඵලයකි.

බල අරගලයට යහපාලනය බිලිදීම

ඊළඟ වටයේදී සිදුවූයේ පරාජිත දේශපාලනඥයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමයි. එයද යහපාලනයේ වුවමනාවක් නොවේ. බල අරගලයේ අවශ්‍යතාවකි.
මෑතකදී තවත් අවුල් සිදුවී ඇතැයි වාර්තා වන්නේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා සභාපතිවරුන් පත්කිරීමේදීය. දැන් ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් දෙදෙනකු හා ප‍්‍රධාන ඇමැතිවරයා සම සභාපතිවරුන් ලෙස පත්කොට ඇත. ඊට අමතරව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද සභාපති තනතුරු බෙදා දී තිබේ. එයින් දිස්ත්‍්‍රික් සංවර්ධනයද අවුල් ජාලයක් වන තැනට පත්ව ඇති බව පෙනෙනේනට තිබේ.

පළාත් පාලන ආයතන රාශියක් විසුරුවා හැර විශේෂ බලධාරීන් යටතට පත්කළේ ඉක්මනින් මැතිවරණ තියන්නටය. එසේ කීවද එහි අරමුණද සන්ධානය තුළ ප‍්‍රතිවාදීන් දුර්වල කිරීම බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. දැන් ඉතිරි පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝකර ඇත. මේවායේ මැතිවරණ කල් දමන්නේ අලූත් ක‍්‍රමයට පවත්වන්නට බව කියමිනි. එසේ වුවද එය තුළ තිබෙන බල දේශපාලන වුවමනා පිළිබඳවද නොදන්නා කෙනෙක් නැත.

මේ සියල්ල කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ නිමකරන්නට නම් හා එයට සහාය ලබාගැනීමට නම් දැන් කළ යුත්තේ වහාම එම කටයුතු නිමකිරීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම අවශ්‍යය. එයට ලෙඩ දමන්නට හදන්නේ නම් වෙනත් මාවතක්් තෝරාගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

සදාචාර විරෝධී දේශපාලනයද මුල් බැස ගැනීමේ අනතුර

තමන් ආභාෂය ලැබුවේ මාක්ස්වාදයෙන් බව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශකොට තිබිණි. එසේනම් එතුමාට මෙන්ම අපටද ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම් සිහියට නඟාගැනීම වැදගත්වේ. විප්ලවය ජයග‍්‍රහණයෙන් පසු බොල්ෂෙවික් නායකයන් ප‍්‍රතිවාදී පක්‍ෂ හා පුවත්පත් තහනම් කළේ තාවකාලික පියවරක් වශයෙන් බව බොහෝ  විචාරකයන්ගේ මතයයි. එසේ වුවද එම මාර්දනකාරී පිළිවෙතට හුරුවූ පක්‍ෂය අවසානයේ පක්‍ෂයේම නායක කාරකාදීන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළ රාජ්‍යයක් බිහිකළ බව දැන් අපි දනිමු. තාවකාලිකව ගත් පියවරවලින් පක්‍ෂයක් විනාශ වී ආඥාදායකත්වයක් බිහිවූයේ එලෙසය. දේශපාලන උපාය උපක‍්‍රම කියා ක‍්‍රියාවට නඟන සදාචාර විරෝධී දේශපාලනයද මුල් බැස ගැනීමේ අනතුරු ඇත්තේ ඒ ආකාරයටය.

වසරක් තිස්සේ අපි මෙම අර්බුදය තුළින් ගමන් කළෙමු. ප‍්‍රශ්නය තිබෙන්නේ ඊළඟ වර්ෂයේදී හා ඉදිරි වර්ෂවලදීත් මෙම අවුල තුළම ගමන් කරන්නේද යන්නයි.  තවදුරටත් මෙම තත්ත්වය ඉදිරියට ගෙනයාම නම් විනාශයකට අතවැනීමක් වීමට ඉඩ ඇත.

යුද්ධයකදී සතුරන් ද තම පැත්තට ගැනීමට උත්සාහ දැරීම වරදක් නැත. එසේ වුවද ඒ සඳහා දිගින් දිගට සතුරන්ට වරදාන වරප‍්‍රසාදදීම නම් ඥානාන්විත ක‍්‍රියාවක් නොවිය හැකිය. සතුරාට තම කඳවුරේ නවාතැන් දීමද භයානක ක‍්‍රියාවකි. කොයි මොහොතකදී හෝ කළයුතු වන්නේ සැබෑ සතුරන් හා මිතුරන් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳගැනීමයි. ඒ අනුව තම පිල හා සතුරා තෝරා බේරාගෙන සටන් වැදීමයි. ‘‘යහපාලනය’’ සඳහා සටනේ දී ද සතුරන් මිතුරන් තෝරා බේරාගත්විට දේශපාලනය වඩා සංකීර්ණ නොවනු ඇත. ඉදිරි වසරේදී අපගේ නායකයන්ට එම හැකියාව ලැබේවායි අපි පතමු.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *