කපිල චන්ද්‍රසේනව රටින් පන්නන්න හැදූ CID සැලසුම නීතිපතිගේ මැදිහත්වීමෙන් නැවතිලා !

එයාර් බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගත් බව අනාවරණය වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම සඳහා අවස්ථාව ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු පිරිසක් විසින් සූදානම්ව සිට ඇති අතර නීතිපතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකී ඇති බව වාර්තා වේ. 

එයාර් බස් සමාගමේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් එංගලන්තයේ අධිකරණයක පැවති නඩු විභාගයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාද 2013 වසරේදී අල්ලස් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබුණේ පසුගිය වසරේදීය. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණු අතර කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිණි. ආණ්ඩු මාරුව සිදුවුණේ මේ අතරය. 

මෙම වංචාවට අදාළව කපිල චන්ද්‍රසේන මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් බැංකු ගිණුම්වල විස්තර ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ඔවුන් දෙදෙනාට ගැළවීමක් නොමැති බව පැහැදිලි වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව් අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතා ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරවා දීමට සූදානම් වී ඇත. 

මේ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින්ම නීතිපති දප්පුල ලිවේරා මහතාට දැනගන්නට ලැබී ඇති අතර ඒ මහතා වහාම ක්‍රියාත්මක වෙමින් තිලකරත්න මහතාට උපදෙස් ලබාදී ඇත්තේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ උත්සාහය නවතා දමා පැය 24ක් තුළ ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙසය. එහෙත් තිලකරත්න මහතා එම උපදෙස් නොසලකා හැර තිබේ. 

ඉන් පසුව නීතිපතිවරයා මෙම සිද්ධිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 100%ක් නීතිය ක්‍රියාත්මක කරවන ලෙසය. 

අවසානයේ කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට පත්වූයේ ඒ ආකාරයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *