සන්ධාන කතා දැන් බොරු අන්තිමට අලියා ළඟ තමයි නතර වෙන්න වෙන්නේ – රාජිත

පවතින තත්ත්වය අනුව සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩ ඇහිරී තිබෙන අතර අවසාන වශයෙන් අලියා ලකුණින් තරඟ වැදීමට සිදුවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සන්ධාන ගැන කියමින් සිටින ඇතැමුන් අවම වශයෙන් සන්ධානයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව හෝ දැනුමක් නොමැති අතර කරුණු කාරණා වැටහෙන්නේ මැතිවරණ කොමසාරිස් සමඟ සාකච්ජා කරන විට යැයි සේනාරත්න මහතා සඳහන් කළේය. 

මැතිවරණ කළ පමණින්, මැති ඇමති ධූර දැරූ පමණින් දේශපාලනය කිරීමේ හැකියාවක් නොලැබෙන බව හෙතෙම පෙන්වාදුන්නේය. 

එහෙයින් වැදගත්ම දේ මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වීම නොව දේශපාලඥයෙක් වීම බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. 

දැන් පාර්ශවයකට අත්විඳීමට සිදුව ඇත්තේ දේශපාලන විඥානයකින් තොරව කටයුතු කිරීමේ පලවිපාක බවයි ඔහු පැහැදිලි කළේ. 

“අපිට ඕන විදිහට සන්ධාන හදන ක්‍රමයක් නැහැ. එයට ක්‍රමවේදයක් තියෙනවා. ඔය සන්ධානය හදන වැඩේ ගිය අවුරුද්දේ පෙබරවාරි, මාර්තු වෙනකොට මම හදල තිබුණේ. සන්ධානයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ. ව්‍යවස්ථාව හදලා ඉවරයි. මැතිවරණ ප්‍රකාශනය හදලා ඉවරයි. මම පක්ෂ නායකයට දුන්නා අඩුපාඩු හදන්න. නමුත් තව කට්ටියක් අපබ්‍රංශ කතා කියලා වැඩේ නැවැත්තුවා. එදා බැරිවුණ දේ අද වෙනතුරු  බැහැ. මට දැන් පෙනෙන්නේ නැහැ කොහොමද සන්ධානයකින් එන්නේ කියලා.”  

ඒ අනුව මේ  නොදන්නා ලකුණක් ගෙන ඒමෙන් තිබෙන ජන්ද පවා අහිමි විය හැකි බව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් නායකයන් හැකි ඉක්මණින් රැස්වී මේ ගැන තීන්දුවක් ගත යුතු අතර පවත්නා තත්ත්වය අනුව හංසයා ලකුණ ලබා ගැනීමේ හැකියාවක් ද නොමැති හෙයින් අවසාන වශයෙන් ඉතිරි වන්නේ ජනතා ආකර්ෂණය පවතින  අලියා ලකුණ බව හෙතෙම පෙන්වාදුන්නේය. 

මහ මැතිවරණයට යෝග්‍යම දේ සන්ධානය වුවත් සන්ධාන ගැන නොදන්නා අය සන්ධාන හැදීමට ගොස් එය වනසා ඇති බවද සේනාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් පළකළේ  ලංකා නිවුස් වෙබ් සමඟ විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි.

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *