ශ්‍රී ලංකාව ඉදිරියේ අභියෝග පහක් – මහාචාර්ය රිකාඩෝ හවුස්මන්

ricardo hausman‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට’ යන මැයෙන් පසුගියදා කොළඹදී පවත්වන ලද සංසදය ඇමතූ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා හා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ්. කෙනඩි රාජ්‍ය විද්‍යාලයේ ආර්ථික සංවර්ධන භාවිතාවන් පිළිබඳ මහාචාර්ය රිකාඩෝ හවුස්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන මාවත විශ්ලේෂණය කරමින් රට ඉදිරියේ ඇති අභියෝග සම්බන්ධයෙන් සමබර දැක්මක් ඉදිරිපත් කළා.

“ලතින් ඇමරිකාවේ සිට පැමිණි මට ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගෙන තිබෙන තත්වයන් හා අනාගත හැකියාවන් පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. නිදසුනක් ලෙස, මා වැඩ කළ වෙනත් බොහෝ රටවලට වඩා ඉහළ මට්ටමක තිබෙන ඔබගේ ආර්ථික වර්ධන අනුපාතිකය දකින විට, ඔබගේ ඉතා සිත් ගන්නාසුළු මානව සංවර්ධන දර්ශකය දකින විට මා සිතන පරිදි අප ඔබ දකුණු ආසියාව සමග සන්සන්දනය කිරීම නැවැත්විය යුතුයි.

“ශ්‍රී ලංකාව ඇතැම් වැදගත් සන්ධිස්ථානයන් පසු කර ගොස් තිබෙනවා. දැන් අලුත් ඉලක්ක තබා ගත යුතුයි. එහෙම නො වුණා නම් ඔබට ඉදිරිපත් කරන්නට සිදු වන්නේ දුර්වල කාර්යසාධනයක් පිළිබඳ හේතු දැක්වීම් රැසකුයි. එහෙත්, ඒ වෙනුවට ඉදිරියට යාමක් සිදු වී තිබෙනවා. මෙහි එන්නට ලැබුණු අවස්ථාව පිළිබඳ නිහතමානීව සතුටු වන මම ශ්‍රී ලංකාව ඉදිරියේ අභියෝග පහක් ඇති බව පෙන්වා දෙන්නට කැමතියි. මවිසින් අවධානය යොමු නො කරන ලද වෙනත් කාරණාත් තිබිය හැකියි. මා හොඳින් දන්නා දේශපාලන හා සංහිඳියා පෙරමුණ තිබෙනවා. මුල් අවුරුද්දේ රජයේ ශක්තිය වැය වුණේ එයට බව මම හොඳින් දන්නවා.

“ආර්ථික පෙරමුණේදී පළමු අභියෝගය වන්නේ අපනයන සීමා වීම හා ගෙවුම් ශේෂයන්ගේ අවදානම් තත්වයයි. දෙවනුව බදු ආදායම පහත මට්ටමකයි තිබෙන්නේ. බදු ආදායම සංවර්ධනයට උපකාර කරන්නට ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලංකාව විදේශ ණය ගැන නැවත සිතිය යුතු ද? රට වෙනස් විය යුතු ආකාරය ගැන සිතිය යුතු ද? තාක්ෂණය හා දැනුම පිළිබඳ කේන්ද්‍රස්ථානයක් වන්නට බලාපොරොත්තු වන රටක් ලෙස සංවිධානමය ධාරිතාව අප්‍රමාණවත් ද? ශ්‍රී ලංකාවේ සියලු ආගම් හා කණ්ඩායම් සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම කෙතරම් අභියෝගාත්මක ද? ධරණීය සංවර්ධනයක් අත්පත් කර ගැනීම ශ්‍රී ලංකාවට කෙතරම් අභියෝගයක් ද?

“ශ්‍රී ලංකාවට විදේශ විනිමය සඳහා ප්‍රවේශයන් රැසක් තිබෙනවා නම් එය එතරම් ලොකු ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත්, මේ වන විටත් රට සෑහෙන දුරට ණය වෙලා තිබෙනවා. මා සිතුවාට වඩා ශ්‍රී ලංකාවේ ආදායම පහළ මට්ටමකයි තිබෙන්නේ. ඇතැම් රටවලට නම් ස්වාභාවික සම්පත්වලට බදු පැනවිය හැකිව තිබෙනවා. මගේ ප්‍රශ්නය වන්නේ ආර්ථිකයේ වර්ධනය සමග සම්බන්ධ වන සුළු කොටස වෙනුවෙන් සම්පත් රැසක් ලබා ගන්නා රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නයි. මෙය රටේ ඉතිරි කිරීම් ඍණ මට්ටමක තිබෙන රටක්. එබැවින් එයට ආයෝජන වෙනුවෙන් කිසිදු දායකත්වයක් සැපයිය නො හැකියි. අයවැය පරතරය ද තරමක් විශාලයි.

“තුන්වන අභියෝගය වන්නේ ව්‍යූහාත්මක පරිවර්තනය හා අදාළ වේ. බොහෝ සංවර්ධිත රටවලට කෘෂිකර්මාන්තයේ විශාල ශ්‍ර‍මයක් තිබේ. ශ්‍රී ලංකාවේ අපේක්ෂිත මට්ටමේ කෘෂිකර්මාන්තයක් තිබේ. එහෙත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය අපේක්ෂිත මට්ටම මෙන් දෙගුණයකි. එහි ඵලදායිතාව අඩු වීම එයට හේතුවයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය 15%ක මට්ටමක තිබිය යුතු වන මුත් දැන් එය 30%ක මට්ටමෙහි තිබේ. එබැවින් රැකියා ඇති කිරීම සදහා ආර්ථිකයේ වෙනත් ක්ෂේත්‍ර‍ වෙත යොමු විය යුතු ය.

“කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර‍ කෘෂිකර්මාන්තයට වඩා කෙතරම් ඵලදායී ද යන්න පිළිබද මිනුම් දණ්ඩකි. කර්මාන්ත අංශය කෘෂිකර්මාන්තය මෙන් සයගුණයක් ඵලදායී ය. සේවා අංශය කෘෂිකර්මාන්තය මෙන් පස්ගුණයක් ඵලදායී ය. එබැවින් වැඩි පිරිසක් මෙම ක්ෂේත්‍ර‍වල රැකියාවන්හි නියුක්ත වන්නේ නම් ඒවා වඩාත් කාර්යක්ෂම වනු ඇත. එම පරිවර්තනය තවමත් සිදු වී නැත්තේ ඇයි? එම වෙනසට බලපාන බාධක මොනවා ද? පසුගිය වසර 20ක කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කැපී පෙනෙන අන්දමින් වෙනස් වී නැත. වැඩි අවධානයක් ඇත්තේ ඇගලුම්වලටයි.

“1991දී තායිලන්තය බොහෝ දුරට වත්මන් ශ්‍රී ලංකාව වැනි විය. ඉන් පසු තාක්ෂණික අපනයන කැපී පෙනෙන අන්දමින් සංවර්ධනය වූ අතර වසර 2010 වන විට කාර්, විදුලි උපකරණ හා යන්ත්‍රෝපකරණ අංශවල දැවැන්ත පුළුල් වීමක් සිදු විය. තුර්කියේ හා කොස්ටාරිකාවේ ද මෙය ම සිදු විය. කළ යුතුව තිබෙන්නේ ශ්‍රී ලංකාව දැන් කරමින් සිටින දේ නතර කිරීම නො වේ. අලුත් දේ එකතු කිරීමයි.

“ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ එයට සිටින තරගකරුවන්ගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවට වඩා දිළිදු වීමයි. ඔවුන්ට වඩා අඩු වැටුප් මත ශ්‍ර‍ය සැපයිය හැකි ය. ධනවත් ම තරගකරුවෝ ද ශ්‍රී ලංකාව අමාරුවේ දමන්නේ එය තරගකාරී නො වන මට්ටමට ඇද දමමිනි. ඇගලුම් නිෂ්පාදන රටවල් වන චීනය, බංග්ලාදේශය හා ඉන්දියාව වැනි රටවලට පවා අඩු වැටුප් ශ්‍ර‍මය පිරිනැමිය හැකි ය. මෙය හැම අංශයකට ම අදාළ වන්නේ නැත. ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ තරගකරුවන් වන්නේ බෙල්ජියම හා ජර්මනියයි. එහිදී ශ්‍රී ලංකාවට වඩාත් තරගකාරී වීමේ හැකියාව තිබේ.

“ශ්‍රී ලංකාව කෙතරම් සුන්දර රටක් ද යන්න සලකා බැලූ විට සංචාරක පැමිණීම මා බලාපොරොත්තු වූ මට්ටමට වඩා අඩු ය. සංචාරක ව්‍යාපාරය යනු ධනවත් රටවල් වැඩි ආදායමක් උපයන මාර්ගයයි. එය වනාහි සංවර්ධනය වන විට ඉහළ වැටුප් ලබා ගත හැකි අංශයකි.

“වි‍දේශ රැකියා ආදායම් ද රසවත් මාතෘකාවකි. එහෙත්, එම අංශය දිගු කාලීනව වර්ධනය වේ යයි සිතිය නො හැකි ය. මන්ද, බොහෝ ශ්‍ර‍මිකයන් යොමු වන්නේ අඩු වර්ධනයක් පෙන්වන කලාපයක් වන ගල්ෆ් වෙත ය. එසේම, බුද්ධි ගලනයක් අවශ්‍ය නො වන නිසා ද දේශීයව වඩා හො වැටුප් ලැබෙන රැකියා නිර්මානය විය යුතු නිසා ද මෙය දිගු කාලීන විභවයක් ඇති අංශයක් නො වේ.

“ශ්‍රී ලංකාව වර්ධනයෙහිදී විවිධාංගීකරණය විය යුතු ය. සිය සාපේක්ෂ වාසිය ගොඩනගා ගත යුතු අතර වඩා සංකීර්ණ දේ වෙත යොමු විය යුතු ය. ඒ සදහා ධාරිතාවන් තිබෙන්නේ කෘෂිකර්මාන්තයේ, කර්මාන්තවල හා සේවා අංශයේ ය. මෙය කලින් ඉපදුණේ කිකිළි ද බිත්තරය ද යන ප්‍ර‍ශ්නය වැනි එකකි. මන්ද, රජයන් උත්සාහ කරමින් සිටින්නේ තමන් නො දන්නා දෙයක් කරන්නටයි. රජයන් සාමාන්‍යයෙන් විවිධාංගීකරණ ක්‍රියාවලිවලට උදව් කරයි. බදු නිවාඩු හා අලුත් ක්ෂේත්‍ර‍ වෙත යොමු වීමට කරනු ලබන දිරිගැන්වීම් භාවිතා කිරීමේ ප්‍ර‍වණතාවක් තිබේ.

“ඔබගේ බදු පදනම ඉතා කුඩා වන විට එම උපායමාර්ගයට සීමාවන් නිර්මානය වේ. එබැවින් වර්ධනය දිරිගන්වන්නට වෙනත් ක්‍ර‍ම අවශ්‍ය ය.

“තවත් මාතෘකාවක් වන්නේ නාගරීකරණයයි. එය හොද මෙන් ම නරක වන්නට ද පුළුවන. එහෙත්, සංවර්ධන ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් සිදු වන්නේ මිනිසුන් රැකියා කරන ස්ථාන වෙත ළං වීමයි. ශ්‍රී ලංකාවේ නාගරීකරණය පුදුම සහගත ලෙස සෙමින් සිදු වේ. ලෝක බැංකු සංඛ්‍යාලේඛන අනුව එය 20%ට අඩු ය. නාගරීකරණය අඩු වීමට තවත් හේතුවක් වන්නේ ශ්‍ර‍ම බලකායෙන් 34%ක් ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වී සිටීමයි. එයින් අදහස් වන්නේ වර්ධනයේ මීළග මට්ටමට ගැලපෙන පුරවර සැලසුම් කළ යුතුව තිබෙන බවයි. රජය දැනටත් ඒ කෙරෙහි අවධානය යොමු කර ඇති බව දනිමි. එය කළ යුත්තේ ඉතා පරිස්සමෙනි.

“ඒක පුද්ගල ආදායම් මට්ටමේදී ද මා සිතුවේ එය මීට වඩා ඉහළ අගයක ඇති ය කියා ය.

“සියලු රටවල් සේම, ශ්‍රී ලංකාව ද විවිධ අංශවල, විවිධ වේගයන්ගෙන් වර්ධනය වෙමින් සිටියි. හෝටල් හා අවන්හල් ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් සිදු වේ. එහෙත්, රටේ ආර්ථිකය පරිවර්තනය වන විට ජන විකාසයේ වෙනස්කම් සිදු වනු ඇත. ශ්‍රී ලංකාව සමස්ත සමාජය ම වර්ධන ක්‍රියාවලියට අන්තර්ගත කර ගන්නේ කෙසේ ද? නාගරීකරණය ප්‍ර‍මාද වැඩි ද? ශ්‍රී ලංකාවට වර්ධනය ඇතුළත් කරගන්නා සුළු එකක් බවට පත් කර ගත හැක්කේ කෙසේ ද?“

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *