ජිනිවා සමුළුව අද ඇරඹේ ; ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි ; වාර්තාව 27 දා

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමපිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද  (24) ආරම්භ වෙයි .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් කිරීමට නියමිත අතර ඊට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වන බව ද නිවේදනයක් නිකුත් කරමින් විඳේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත් එනුවර රැඳී සිටින කාලයේදී අමාත්‍යවරයා, මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්විණි.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින අතර හෙතෙම ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය දැනුවත් කර ඇත්තේ ඉකුත් සිකුරාදා (21) ය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ සිටින එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් දැනුවත් කළ බව ද රවිනාථ ආර්යසිංහ මහතා සභාපතිනියට දැනුම් දුන්නේය.

පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වටයේදී රජය ගත් තීරණය විධිමත් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන්ට දැනුම් දෙන බව ද ආර්යසිංහ මහතා එහිදි සභාපතිනියට දැනුම් දුන්නේය.

2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රහාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *