විපක්ෂයේ කුහකකම නිසා නැති උනේ සිංහල අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න තිබුණු චාන්ස් එක !

ආණ්ඩුව බලයට පත්ව මාස තුනක කාලයක් ගතව ඇති අවස්ථාවක ලබා දුන් සියලු පොරොන්දු මෙම කෙටි කාලය තුළ ඉටු කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වුණේ ඉකුත් වර්ෂයේදී ණය ගෙවීම සම්බන්ධයෙන් බවත් මේ වර්ෂයේ අලුත් අවුරුදු සමයේ ජනතාවට අතට මුදලක් ලබාදීමට කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය වැළැක්වූ බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

අද පෙරවරුවේ මහනුවර උඩරට සංගම් ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

නමුත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායමට වඩා පළපුරුදු දේශපාලන කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයේ සිටිනවා යැයි කී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

විපක්ෂය පරාජය කරන බව දන්නා නිසා අප රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සකස් කළ කෙටුම්පත ඉදිරිපත් කළේ නැහැ. අලුත් අවුරුද්දට කිරිබත් ටිකක් කන්න අලුත් ඇඳුමක් ගන්න තිබුණු අවස්ථාව ජනතාවට අහිමි වුණේ විපක්ෂයේ කුහකකම නිසයි.

විපක්ෂය යන්නෙන් අදහස් කරන්නේ සෑම දෙයටම විරුද්ධ වීම නොවෙයි. ජනතාවට යම් සේවයක් වෙනවා නම් විපක්ෂයේ සහයෝගය ඊට අවශ්‍යයි.

මෙම මාස හතරක කාලය තුළ තිබුණු ආණ්ඩුවටම කරගෙන යන්න අවස්ථාව දිය යුතු බවයි මගේ පෞද්ගලික අදහස වුණේ. නමුත් බොහෝ දෙනා ඊට කැමැති වුණේ නැහැ. අපි ආණ්ඩුව ලබා ගැනීම තුලින් නිවාස ලක්ෂයක් ඉදිකිරීමට මෙන්ම රැකියා ලක්ෂයක් ලබාදීමට අපට අවස්ථාව හිමිව තිබෙනවා.නමුත් සමහරු තවමත් කැමැත්ත දක්වන්නේ  සමෘද්ධිය ලබා ගනිමින් ඒ අයුරින් ජීවත් වීමටයි.

ග්‍රාම නිලධාරීන්න්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුලදී එය පනතක් වශයෙන් සම්මත කර ඔවුන්ට සහයෝගය ලබා දීමට අපට හැකියාව ලැබෙයි.

මෙම උත්සවයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා, ග්‍රාම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කරන බව රජය ප්‍රකාශ කර වසර ගණනාවක් ගත වී ඇතත් එය සිදුවී නොමැති බවද, ග්‍රාම නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට කිසිදු යතුරුපැදියක් ලැබී නොමැති නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *