ලකුණ අලියාමයි. මෙහෙයවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. නාමයෝජනා ඉල්ලුම්පත් එවන්න – අකිල

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදිය යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බැවින් ඒ සඳහා නුදුරේදීම නාමයෝජනා කැඳවන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

“එක්සත් ජාතික පක්ෂය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඉතා ඉක්මනින් ඉදිරියේදී නාමයෝජනා කැඳවීමට නියමිතව තිබෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි. තරග වැදීමට කැමති අය ඒ සඳහා නාමයෝජනා ලබාගැනීමට ඉල්ලුම්පත්‍ර එවන ලෙස මම මහලේකම්වරයා වශයෙන් කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කරන නාමයෝජනා මණ්ඩලය විසින් තමයි නාමයෝජනා කැඳවනු ලබන්නේ. මේ සඳහා නිලධාරී මණ්ඩලය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කරන පුද්ගලයින් නියෝජනය කරනවා” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

සන්ධානයේ නායකත්වය සහ ලකුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “සන්ධානයේ නායකයා වශයෙනුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කළා, ඒවගේම නාමයෝජනා මණ්ඩලයේ සභාපතිවරයා වශයෙනුත් එතුමාව පත් කළා. නමුත් 10 වනදා පැවැත්වුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සියලු දේට එකඟත්වය පළ කළත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණින් කියන එක බොහොම පැහැදිලිව සඳහන් කළා. මොකද මීට පෙරත් මේ ආකාරයෙන්ම අපි විවිධ සන්ධාන ගොඩනැඟුවත් විවිධ පෙරමුණුවලින් ආවත් ඡන්ද ලකුණ වශයෙන් ඉදිරිපත් කළේ අලියා ලකුණ. 

නීති විශාරදයින් විසින් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තවත් කරුණක් පෙන්වා දෙනු ලැබුවා, අලියා ලකුණින් තරග කිරීමට ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතුයි. නීතිමය වශයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා” යනුවෙනි. 

අලියා ලකුණින් තරග වැදීමේදී එය මෙහෙයවන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් ඒ මහතා අවධාරණය කළේය. 

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *