|

ගමනාන්තය ගමන් මඟ – නිශාන්ත කමලදාස

රන්ජන්ගේ හඬපට නිසා විය හැකි දෙයක් නම් කිසිදු දෙයක් ගැන, පුද්ගලයකු ගැන, පමණක් නොව සමස්ත ආයතන පද්ධතිය ගැන ම විශ්වාසය නැති වීම ය. එය බරපතළ ය. විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය ගැන ඇති විශ්වාසය පලුදු වීම බරපතළය. ඒ පලුදු වූ විශ්වාසය නැවත ස්ථාපිත කරනු සඳහා ආයතන පද්ධතිය අදාළ පුද්ගලයන් කීප දෙනකුට දඩුවම් කිරීමෙන් නොනැවතී අපක්ෂපාතී ලෙස යුක්තිය පසිඳලන බවට සහතික වන ක්‍රමවේදයන් ද සකස් කළ යුතු ය. එසේ ක්‍රමවේදයන් සකස් කළ යුතු බවට ඉඟියක් මේ මගින් ලබා දීම ද සාධනීය ය. එම ඉඟිය වගකිවයුත්තන් විසින් බාර ගනු ලබන්නේ නම් එය ද සාධනීය ය.


අරමුණ හොඳ නම් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක් වුව ද කමක් නැතැයි මුලින් ම කීවේ රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා නොවූව ද ඔහු ද එය කීවේ ය. රන්ජන්ගේ වචනවලින් කිවහොත් “මම කළේ කුපාඩි වැඩක් වෙන්න පුළුවන්. ඒත් මං ඒ සියල්ල කළේ හොරු අල්ලන්න” යන්න එහි සක්ෂිප්ත අදහස ය.

මට මතක හැටියට මෙසේ “උත්තුංග අරමුණක් වෙනුවෙන් හිංසනය භාවිතා කළ හැකි ය” යන්න මුලින් ම දර්ශනයක් ලෙස සමාජ ගත කළේ කාර්ල් මාක්ස් ය. ඒ සමාජවාදී විප්ලවය තුළ සිදු විය හැකි ජිවිත විනාශයන් සාධාරණීකරණය කරනු පිණිස ය. එහෙත් මේ දර්ශනය වඩාත් අමානුෂික ලෙස යොදා ගත්තේ ත්‍රස්තවාදය දේශපාලන උපාය මාර්ගය හැටියට තෝරා ගත් දේශපාලන සංවිධානයන් ය.

පාලනය කළ නොහැකි මැරයන් නීතිය හමුවට පමුණුවන්නේ නැතිව ආයුධ පෙන්නන්නට ගෙන ගිහින් තොලොංචි කර දැමීම ද කමක් නැතැයි ද ඒ පටිපාටිය තුළ ඇතැම් විට අසරණයන් කීප දෙනකු ද බිලි විය හැකි නමුත් සමාජය වෙනුවෙන් ඒ අයුක්තිය දරා ගත යුතු යැයි ද කියන මිනිසුන් ද වෙනත් ආකාරයකින් කියන්නේ එය ම ය.

මේ අය ගෙනෙන, අපට ද පහසුවෙන් මග හැරිය නොහැකි, තර්කයක් තිබේ. ඒ ලෙඩාගේ ජීවිතය බේරා ගනු පිණිස අතක් පයක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට පවා සිදු වෙනවාය යන කාරණය යි. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම යන උත්තුංග අරමුණ වෙනුවෙන් ඔහුගේ කකුලක් අතක් ඉවත් කිරීම යන දරුණු උපාය මාර්ගය භාවිතය නිවැරදිය යන්න අපට පිළිගැනීමට සිදු වේ.

එකවර නිගමනයක නොපැමිණ අපට අතීතය පිරික්සා බැලීමට සිදු වන්නේ ය. රෝගියෙකු සම්බන්ධයෙන් මේ ගත් උදාහරණය පොදුවේ සෙසු දේටද අදාළ ද?

ගාන්ධි ඉන්දීය නිදහස් අරගලයේ දී හිංසනය යොදා ගැනීමට විරුද්ධ විය. ඔහු අවිහිංසාව වෙනුවෙන් ම දිගින් දිගට පෙනී සිටියේ ය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෘග මර්දනය හමුවේ ද අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටියේ ය. හිංසනයෙන් ලබා ගන්නා නිදහස අර්ථ විරහිත යයි ඔහු කීවේ ය. නිදහස් සටනේ යෙදී සිටි අනෙත් බලවේග ඔහු ව හඳුන්වනු ලැබුයේ පාවා දෙන්නෙකු ලෙස ය. එහෙත් ඔහු නොනැමුණේ ය. නිදහස යන උත්තුංග අරමුණ වෙනුවෙන් වුව ද අවි දැරීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

බුදුන් වහන්සේ ලෝකය තුළ ස්ථානගත වන්නේ ගාන්ධිට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. උන්වහන්සේ අවිහිංසාව පමණක් නොව බොරුව ද ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් කිසා ගෝතමී සිය දරුවා වෙනුවෙන් වැළපෙද්දී දරුවාට පණ දීමට තමාට හැකි මුත් ඒ සඳහා කිසිවෙකු නොමළ ගෙයකින් අබැටක් ගෙන ආ යුතු බව කීවේ ය. කිසා ගෝතමීය එවන් ගෙයක් සොයා ගිය ද අබ තිබුණු නමුත් කිසිවෙකු නොමළ ගෙයක් ඇයට මුණ නොගැසිනි. මරණය කාටත් උරුම දෙයක් යන අවබෝධය ඇයට එයින් ලබා ගත හැකි විය. බොරුව ප්‍රතික්ෂේප කළ බුදුන් කිසා ගෝතමිය සන්සුන් කිරීම උදෙසා බොරුව යොදා ගත් බව කෙනෙකුට කිව හැකි ය. එයින් අදහස් වන්නේ උත්තුංග අරමුණක් වෙනුවෙන් සදාචාරමය නොවන දෙයක් කිරීමේ ඒ හැටි වරදක් නැති බව ය. එසේ වුව ද එතැන වෙනසක් තිබේ. ඒ එයින් කිසිවකුට පාඩුවක් සිදු නොවීම ය. ලාභයක් පමණක් වීම ය.

ජිවිතය බේරා ගැනීම උදෙසා රෝගියාගේ කකුල ඉවත් කිරීම ගැන ද කිව යුත්තේ එයින් රෝගියාගේ දිවි ගැලවුනු අතර වෙන කෙනෙකුට හානියක් නොවූයේ යැයි කියා ය. ඒ නිසා ම ත්‍රස්තවාදීන්ගේ තර්කය සමග එය එක ගොඩකට තල්ලු කර දැමීම වැරදි ය.

බුදුන් වහන්සේ කීවේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියා ය. ඒ කියන්නේ කර්මයට මුල් වන්නේ චේතනාව බව ය. පටිගත කිරීම ගැන විනිෂ්චය කිරීමේ දී සිත ඇතුළේ තිබූ චේතනාව අපට ඒ නිසා මග හැර යා නොහැකි ය. එහෙම බැලුවහමත් පෙනෙන්නේ මේ ගැන නැවත නැවතත් විමසිය යුතු බව ය.

පෞද්ගලිකත්වය

මේ උදාහරණවලින් පෙනී යන්නේ අපට මේ සඳහා පොදු රීතියක් නිර්මාණය කර ගැනීමේ අපහසුව ය. සන්දර්භය අනුව මෙහි හරි වැරැද්ද තීරණය කළ යුතු බව ය. එයින් ඇති කරන විපාක විමසීමෙන් පසු පමණක් තීරණයකට එළැඹිය යුතු බව ය. ඒ පසුබිමේ සිට දැන් අපි මේ නිශ්චිත කාරණයට එනම් රන්ජන්ගේ හඩ පට පිළිබඳ කාරණයට පිවිසෙමු.

දුරකථන සංවාදයක් පටි ගත කරන්නේ නම් ඒ බව අනෙත් කෙළවරේ ඉන්නා පුද්ගලයාට දැන්විය යුතු බවට එකඟත්වයක් ශිෂ්ට ලෝකයේ ඇත. මෙය පෞද්ගලික සමාගමකට දුරකථන පණිවුඩයක් දෙන කෙනෙකුට දන්වන්නට එම සමාගම් විසින් කටයුතු කර ඇත්තේ ඒ නිසා ය.

ඒ ලෝ වාසී සියලු දෙනා විසින් දැන ගත යුතු නැති කරුණු පුද්ගලික සංවාදයක දී අප කතා කරන නිසා ය. රන්ජන් මේ බව දැන නොසිටින්නට හේතුවක් නැත.

ඔහු මෙතැන දී සමාවට කරුණක් ඉදිරිපත් කරන්නේ ය. ඒ සමහර අය තමන් කියූ දෑ පසුව ප්‍රතික්ෂේප කරන බව අත්දැකීමෙන් දන්නා නිසා තමන් මේ පටිගත කිරීම් කළ බව ය. ඒවා ලෝකයට එළිදරව් කිරීමේ කිසිදු අභිලාෂයක් ඔහුට නොතිබුණු බව ය. එය කර ඇත්තේ තුන්වෙනි පාර්ශවයක් විසින් බව ය.

එහි දී රන්ජන් නිවැරදි ය. මේ හඬ පට සමාජයට පැමිණියේ රන්ජන්ගේ අවසරය ඇති ව නොවේ. එහෙත් මෙසේ පටිගත කළ හඩ පට තිබීම ම ඒවා නිරාවරණය වීමට ඉඩක් ඇති කරන බව රන්ජන් විසින් නොසැලකීම සම්බන්ධයෙන් ඔහුට නිදහස් විය නොහැකි ය.

ඇතැම් විට එහි බරපතළ කම රන්ජන්ට වැටහී ගියේ අශ්වයා පැන ගිය පසු ය. ඒ වන විට ඉස්තාලය වසා වැඩක් නැත. ඔහුට කළ හැකි ව තිබුණේ සමාව ගැනීම පමණකි. ඔහු එය කළේ ය. එහෙත් එය අගතියට පත් පාර්ශවයන්ට සතුටු විය හැකි තත්වයක් වන්නේ නැත.

රන්ජන්ට සාධාරණයක් ඉටු කිරීම උදෙසා අප තව දෙයක් කිව යුතු ය. මෙවැනි පටිගත කිරීම් මුල් වරට එළිපහලියට ආවේ රන්ජන්ගේ හඬ පට සමග නොවේ. රංගෙ බණ්ඩාරට දේශපාලන පිල් මාරුවකට යොමු කර ගැනීමට කරන ලද උත්සහයක් පිළිබඳ හඩ පටියක් මතුවුණේ 2018 තාවකාලික ආණ්ඩු පෙරළිය සමග ය. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුමිය සමග ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා කරන ලද දුරකථන සාකච්ඡාවක් එළියට පැමිණියේ රන්ජන්ගේ හඩ පට ඒමට පෙර ය. ඒවා එක් දුරකථන සංවාදයකට පමණක් සීමා වීතිබුණු නිසා දෝ මේ තරම් ආන්දෝලනයක් ඇති කළේ නැත. පටිගත කිරීම් සම්බන්ධයෙන් රන්ජන්ට මෙන් දෝස්මුරයක් ද අදාළ පුද්ගලයන්ට එල්ල වු‍ෙණ් නැත.

රිදී රේඛා

කළු වලාවක රිදී රේඛා ද ඇති වන්නේ ය. ඒ මේ හඬ පට ඔස්සේ සිදු වන හෙළිදරව්වලින් සමාජය විසින් දැන ගත යුතු එහෙත් සමාජයෙන් වසන් වී තිබුණු සමහර කරුණු ද එළියට පැමිණීම ය. හඩ පට නිසා හට ගැනුණු සංවාදයන් ඔස්සේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය රැකීමේ වගකීම වැනි බොහෝ දෙනා විසින් සාමාන්‍යයෙන් නොසලකා හරිනු ලබන කරුණු සාකච්ඡා වීම ය.

පෞද්ගලික රහස්‍යභාවය සම්බන්ධ නීති රීති ලංකාවේ නොමැති බව මිනිසුන් දැන ගන්නේ ද මේ සාකච්ඡාව හරහා ය. ඒ අනුව පෙනී යන්නේ දුරකථන සංවාද පටිගත කිරීම මගින් රන්ජන් සදාචාරාත්මක වැරැද්දක් කර ඇති මුත් ලංකාවේ වත්මන් නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර නැති බව ය.

එහෙත් මේ හඩ පට නිසා රන්ජන් පමණක් නොව දුරකථන සංවාදයන්හි නියැළුණ අය ද ලංකාවේ නීතිය යටතේ වෙනත් වැරදි කර ඇති බවට සාක්කි එළියට පැමිණිය හැකි ය. දැනටමත් සමහර විනිශ්චයකාරවරුන්ගේ වැඩ අත්හිටුවා ඇත්තේ එවැනි වැරදි වල නිරත වූවා යැයි සැක කෙරෙන සාක්කි මේ හඬ පටවලින් මතු විය හැකි ය යන උපකල්පන මත පිහිටා විය යුතු ය.

මතුවන සාක්කිවලින් තෝරාගත් අයට පමණක් දඩුවම් කර මේ කලබැගෑනිය අවසන් වේ ද යන්න දැන් ජනයා අතර කතා වෙන මාතෘකාවක් වී තිබේ. එය ගැන තීන්දු දෙන්නට අපට කල් මදි ය.

එහෙත් ලංකාවේ අධිකරණයකට ඉදිරිපත් නොකෙරෙන ඇතැම් සාක්ෂි ජාත්‍යන්තර අධිකරණයකට යෑමට ඉඩක් තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. .

තමන් මේ සියල්ල කළේ හොරු ඇල්ලීමේ අරමුණ වෙනුවෙන් යැයි රන්ජන් විසින් කියා තිබේ. ඒ නිසා ම ඔහු ගැන යම් සහකම්පනයක් හොරකම වංචාව අරහං වී ඇති මිනිසුන් තුළ ඇති විය හැකි ය. එම කාරණය මේ හඩ පට නිසා දිග හැරෙන චිත්‍රයට බලපෑම් කරන්නට ද ඉඩ තිබේ.

විය හැකි දේ අපමණ ය. ඒ අතර විය හැකි එක් දෙයක් නම් මේ සියල්ල නොබෝ දිනකින් ලංකාවේ ජනතාවට අමතකව යෑම ය. දැනටමත් කොරෝනා වෛරසය විසින් කලින් සංවාදයට ලක් වූ මාතෘකා ගණනාවක් ම වසා දමා තිබේ.

තව විය හැකි දෙයක් නම් හඩ පට විකෘති කරන ක්‍රම සහ විධි සොයා ගැනීම මගින් අමූලික බොරු සමාජගත කිරීම ය. එවැනි බොරු අවිශ්වාස නොකරන ජනතාවකට පහසුවෙන් විකිණිය හැකි වීම ය.

තවත් රන්ජන්ගේ හඬපට නිසා විය හැකි දෙයක් නම් කිසිදු දෙයක් ගැන, පුද්ගලයෙකු ගැන, පමණක් නොව සමස්ත ආයතන පද්ධතිය ගැන ම විශ්වාසය නැති වීම ය. එය බරපතළ ය. විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය ගැන ඇති විශ්වාසය පලුදු වීම බරපතළය. ඒ පලුදු වූ විශ්වාසය නැවත ස්ථාපිත කරනු සඳහා ආයතන පද්ධතිය අදාළ පුද්ගලයන් කීප දෙනෙකුට දඩුවම් කිරීමෙන් නොනැවතී අපක්ෂපාතී ලෙස යුක්තිය පසිඳලන බවට සහතික වන ක්‍රම වේදයන් ද සකස් කළ යුතු ය. එසේ ක්‍රමවේදයන් සකස් කළ යුතු බවට ඉඟියක් මේ මගින් ලබා දීම ද සාධනීය ය. එම ඉඟිය වගකිවයුත්තන් විසින් බාර ගනු ලබන්නේ නම් එය ද සාධනීය ය.

විනිවිදභාවය

අනෙක් කාරණය නම් මිනිසුන් දුරකථනය ඔස්සේ කතා කරන විට වෙනදා නැති විදිහට පරිස්සම් වීම ය. ඒ නිසා අනවශ්‍ය ගනුදෙනු සඳහා යෝජනා ඉදිරිපත් නොවීම ය. මැදිහත් වීම් කිරීම උගහට වීම ය.

තව වටහා ගත යුතු කරුණක් තිබේ. පටිගත කිරීමට දුරකථන ම අවශ්‍ය නැති බව ය. ඉතා කුඩා ඇහැට නොපෙනෙන රෙකෝඩර් ද දැන් වෙළඳ පොළේ තිබේ. ඒ නිසා අපට ප්‍රවේශම් වන්නට සිදුවන්නේ දුරකථනයෙන් කතා කරන විට පමණක් නොවේ. මුහුණට මුහුණ කතා කරන විට ද ඒ දෙයම සිදු විය හැකි ය.

ඒ සියල්ලෙන් අප රටක් හැටියට ලබන වාසියක් තිබේ. ඩීල් දැමීමට ලෙහෙසියෙන් කෙනෙක් ඉදිරිපත් නොවීම ය. එක්තරා විනිවිදභාවයක් තිබෙන්නේය යන සැකය නිසා මිනිසුන් වැරදි වැඩ කිරීමට අඩුවෙන් පෙළඹවීම ය. දුරකථනය සම්බන්ධයෙන් ආචාර ධාර්මික නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ආචාර ධර්ම වෙනදාට වඩා ගරු කිරීමට මිනිසුන්ට සිදු වීම ය.

ඒ නිසා රන්ජන්ගේ හඬ පට ගලකට උපමා කළොත් එම ගල සමාජය නැමැති විසල් ජලාශයට වැටීම නිසා ඇති කළ දෝංකාරය සහ එයින් මතු කළ දිය රැලි තවත් කාලයක් රැව් පිලි රැව් දෙමින් ද පැතිරෙමින් ද තිබීම සාධනීය බව කිව යුතු ය. ඒ එයින් පුද්ගලිකව කීප දෙනෙකුට ම සිදු වූ අගතියට අමතර වශයෙන් බව ද සඳහන් කළ යුතු ය.

රන්ජන් වීරයෙක් ද මෝඩයෙක් ද?

බොහෝ දෙනෙකු මේ ප්‍රශ්නයේ දී අතරමං වී ඇති බවක් පෙනේ. එසේ වීම ස්වභාවික ය. වීරයෙක් හා මෝඩයෙක් අතර ඇත්තේ කෙස් ගහක වෙනසකි. දෙන්නාගේම පොදු ගුණාකාරය වෙන අය අඩිය තබන්නට බිය වී පසු බහින තැන්වල අඩිය තැබීමෙන් නොනැවතී පිණුම් ගැසීමට ද ඉදිරිපත් වීම ය. පිණුම හරි ගියොත් ඔහු වීරයෙකු වෙන අතර පිණුම වැරදී ගියොත් ඔහු‌ මෝඩයකු වනු ඇත. අපට කල් ඇතිව පුරෝකථනය කිරීමට අමාරු එය, තීරණය කරනු ඇත්තේ ඉතිහාසය විසිනි. ඒ නිසා ම මේ ප්‍රශ්නයට උත්තර දීමට තවම කල් වැඩි ය.

මේ මොහොත වන විට නම් රන්ජන් එක වර වීරයෙකුත් මෝඩයෙකුත් වී තිබෙන්නේ ය. වීරයෙකු වී ඇත්තේ හොරකම් කළා යැයි ඔහු උපකල්පනය කළ අය අධිකරණය ඉදිරියට ගෙනැවිත් දඩුවම් කිරිමට ඔහු කළ මැදිහත් වීම් ය. මෝඩයෙකු වී තිබෙන්නේ ඒ මැදිහත් වීම් පටිගත කිරීම හරහා ඔහුට සහය දුන් අයට යන එන මං නැති කිරීම ය.

දැන් තිබෙන තත්වය අනුව නම් රන්ජන් හිරේ ය. ඔහු දර දිය ඇද ගොඩ නගන්නට මහන්සි වූ පක්ෂය ද ඔහු අතහැර දමා ඇත. එහෙත් ඔහු තවමත් ජිවත් වෙන්නේ ය. දිගටම සටන් වදින බව කියන්නේ ය. ඔහු විසින් කරන තර්ජන පදනම් සහිත ද නැද්ද යන බව ඔප්පු කරනු ඇත්තේ උසාවියක දී ය. එය ද දැකගන්නට ලැබෙන්නේ ඉස්සරහට ය. ඒ නිසා ම මේ ඉතිහාස කතාව අවසන් නැත.

හොඳට සිදු වන නරක දේ

සමහර නරක දේවල් සිදු වන්නේ හොඳට ය. ශරීරයේ වේදනාවක් ඇති වීම නරකක් වුව ද එවැනි වේදනාවක් අපට දන්වා සිටින්නේ ශරීරය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බවත් එය විසඳීම සඳහා මැදිහත් විය යුතු බවත් ය. ඒ නිසා බොහෝ ශරීර වේදනා සාධනීය ය. එහෙත් එය සාධනීය වන්නේ ඒ සංඥා අප නිසි ලෙස තේරුම් ගෙන ඒවාට නිසි ප්‍රතිචාරය දක්වන්නේ නම් පමණ ය. වෛද්‍යවරයෙකු මුණ ගැසී අවශ්‍ය පර්යේෂණයන් සිදු කොට රෝගය කල් නොයවා සොයා ගන්නේ නම් පමණ ය. එසේ සොයා ගනු ලබන රෝගයට නිසි පිළියම් සපයන්නේ නම් පමණ ය.

රන්ජන්ගේ හඩ පට හරහා අපට ලැබී තිබෙන්නේ එවැනි සංඥාවකි. සමස්ත සමාජ ආයතනික දේහයේ පැල්මවල් ඇති බවට සංඥාවකි. එය මනාව තේරුම් ගන්නේ නම්, ඒ අනුව ඒවා වසා දමා සමාජ ආයතනික දේහය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නම්, අප ගොඩ ය. නැත්නම් විය හැක්කේ දිගටම වේදනා විඳ ගැනීමට සිදු වීමත් ඉක්මන් මරණයත් පමණි.

පටි ගත කිරීමේ හොඳ නරක ගැන කතා කළා මිස පටි ගත කිරීම්වලින් හෙළිවන වැරදි ගැන කතා නොකිරිමට අපි ප්‍රවේසම් වූයෙමු. ඒ ඒවා අධිකරණය හමුවේ විභාග වන නඩුවල ප්‍රස්තූතයන් වීම ය.

මේ ලිපිය මෙසේ අවසන් කිරීමට කැමැත්තෙමු. ගමනාන්තය යුක්ති යුක්ති වීමට ගමන ද යුක්ති යුක්ත වී නම් හොඳ ය. නැත්නම් ගමනාන්තයට ද එයින් කැළලක් ඇති වීමට ඉඩ තිබෙන නිසා ය. ගමන ප්‍රශ්නයක් වන්නේ එය සදාචාරය පිළිබඳ න්‍යායාත්මක ප්‍රශ්න ඇති කිරීම නිසා නොවේ. සෙසු අයට ඉන් අගතියක් ද සිදු වීම නිසා ය. අප අපේ සුන්දර උත්තරිතර ගමනාන්තයට ළගා වන විට මගහැරිය යුත්තේ ගමනාන්නතය උදෙසා එසේ මිනිසුන් අගතියට පත් කිරීම ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *