අලියට එරෙහිවී සජිත් නැගිට යයි

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණෙන් ඉදිරිපත් වියයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තුනෙන් දෙකක එකඟතාව පළකර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රම- සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ පිහිටි සිරිකොත මූලස්ථානයේදී ඊයේ(10) රැස් වුණු අතර එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ද එක්ව සිටියහ.

එලෙස අලියා ලකුණෙන් තරග කිරීමට තුනෙන් දෙකක එකඟතාව ලැබුණ ද ඊට විරෝධය පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු අනුගමනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකොරළ, චන්ද්‍රානි බණ්ඩාර, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේරසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරුන් කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පිටව ගියහ.

මෙම ලකුණ සහ තරග කරන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා උපදේශක කමිටුවක් වෙත යොමුකර ඇති අතර එහි නිර්දේශ එළැඹෙන 14 වැනිදා රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි උපදෙස් ලබාදී තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වන්නේ නම් එහි ව්‍යවස්ථාව මෙම සිකුරාදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයාට දැනුම් දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය විය.

පිහිටුවීමට යන සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමත ලබා දී තිබේ.

 ආරියරත්න ගනේගොඩ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *