සන්ධානයේ මහ ලේකම් නොකිරීමට රනිල්-සජිත් තීරණය කළ අය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා පත් නොකළ යුතු දේශපාලනඥයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පොදු අවබෝධයක් ඇති වී තිබේ.

දෙපාර්ශවය අතර මේ අවබෝධය ඇති වී තිබෙන්නේ නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරයට නමක් යෝජනා කර එවීමේදී ඒ සඳහා නම් නොකළ යුතු පුද්ගලයින් හය දෙනෙකු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත කර ඇති ලිඛිත දනුදීමට අනුවය.

නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරයට කිසිසේත් පත් නොකළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා වෙත රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන අය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක,එම පක්ෂයේ වත්මන් සභාපති කබීර් හෂීම්,මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ද,විපක්ෂ නායකත්වය සහ නව දේශපාලන සන්ධානයේ නායකත්වය ද ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එළිපිටම ක්‍රියා කරමින් ජනතාව ද පෙළ ගස්සවා ජන මතයක් නිර්මාණය කිරීමට ඇපකැප වී ක්‍රියා කළ කණ්ඩායම අතර මේ පිරිස ඉදිරියෙන්ම සිටිති.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වහාම සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දී රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තරයේ කියා සිටින්නේ ද මේ කණ්ඩායම වන අතර අජිත් පී පෙරේරා මහතාට සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකත්වය අහිමි වූයේ ද මේ ක්‍රියා කලාපය නිසාමය.

තමා වෙනුවෙන් සිය දේශපාලන දිවිය පරදුවට තබා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සටන් කිරීම හේතුවෙන් අජිත් පී පෙරේරා,සරත් ෆොන්සේකා,රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්ම මහත්මීන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පහ කෙරුණු අවස්ථාවේදී ඊට විරෝධය පා සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (30) “සිරිකොත” මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළ ද, එහිදී ගත් තීන්දු තීරණ සහ එම මණ්ඩලය තමා වෙත ලබා දුන් සියලු නියෝග පිළි ගන්නා බව පසුදා උදෑසනම නිවේදනය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවැසුවේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉතිහාසයේ පෙනී සිටී සියලු දෙනා දේශපාලන වශයෙන් අනාථ වුණා සේම වර්තමානයේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම ද දේශපාලන වශයෙන් අනාථ වෙමින් සිටින බවය.

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *