සජිත් ප්‍රේමදාසට එරෙහිව එජාප කෘත්‍යාධිකාරියෙන් රතු නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිත පුළුල් දේශපාලන සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ගෙන මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තමා සූදානම් ද නැද්ද යන්න පිළිබඳ ඍජු තීරණයක් ගනිමින් ඒ බව පක්ෂයට දැනුම්දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අවසාන වශයෙන් සතියක කාලයක් ලබාදීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන කරුණු කාරණා සහ තත්ත්වයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිළි ස්ථාවරයක්,ඍජු මතයක් සේම දැක්මක් නොමැති බව ද,ඔහුට සිය දේශපාලන හෘද සාක්කියට එකඟව ස්වාධීනව තීන්දු තීරණ ගෙන නියම නායකයෙකු ලෙස ක්‍රියා කිරීමට නොහැකි බව ද අවධාරණය කර සිටී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයින්ට දේශපාලන වශයෙන් අනාථ වීමට ඉඩ තැබිය නොහැකි යැයි ද අවධාරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීන්දු තීරණ ගනිමින්,මේ කරුණු අවධාරණය කර සිටියේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “සිරිකොත” පක්ෂ මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (30) සවස රැස්වූ අවස්ථාවේදීය.

කෙසේ නමුත් විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දාහතර දෙනෙකු (14) මෙම තීරණාත්මක සහ පක්ෂයට අතිශය වැදගත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට පියවර ගැනීම විශේෂ සිද්ධියක් වූ අතර ඔහු ගත් එම තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දුටූහ.

ඔහු ඇතුළු කණ්ඩායම මෙසේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අජිත් පි. පෙරේරා යන මහත්වරුන් ද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යළි පත් නොකිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමිනි.  

අලුතින් පත් කෙරුණු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සභිකයින් පනස් හත් දෙනෙකුගෙන් (57) සමන්විත වන අතර “සිරිකොත” මුලස්ථානයේ බ්‍රහස්පතින්දා (30) රැස් වූ 2020 වර්ෂයේ අභිනව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සභිකයින් තිස් හත් දෙනෙකු (37) සහභාගී වී සිටියහ.

විවිධ පෞද්ගලික සහ දේශපාලන රාජකාරි ආදී හේතුන් මත මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී විය නොහැකි බව එම මණ්ඩලයේ සභිකයින් හය දෙනෙකු (6) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාචිකව ද එම පක්ෂයේ මහා ලේකම්වරයා වෙත ලිඛිතව ද කල් ඇතිව දැනුම් දී තිබිණ.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ   නායකත්වයට  සහ ඔහුගේ තීන්දු තීරණවලට විරෝධය පළ කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළේ  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සභිකයින් දාහතර දෙනෙකු (14) පමණක් වන අතර මේ තත්වයෙන් හෙළි වුයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරන සහ තීන්දු තීරණ ගන්නා එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය වන කෘත්‍යාධිකාරියේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව සිටින්නේ දොළොස් දෙනෙකු (12) පමණක් බවය.

මේ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩයේ බහුතර බලය සහ එහි බහුතරයේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත තිබෙන බව පැහැදිළි වූ අතර මේ රැස්වීම ආරම්භයේදීම ජ්‍යෙෂ්ඨයින් ඇතුළු බහුතරය අවධාරණය කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැදී සිටිය යුතු බවය.

විශේෂයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙහිදී අවධාරණය කර සිටියේ සියලු පාර්ශවයන් අතර සමපාත භාවයක් ඇති කරමින් සියලු දෙනා එකට ඒකරාශී කර සමගිය ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා  එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තව දුරටත් රැඳී සිටිය යුතු බවය. එමෙන්ම රටේ ආර්ථිකය සහ දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එදා පළ කළ අනතුරු දැක්වීමේ අනාවැකි වර්තමානයේ සඵල  වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් පොදු දේශපාලන සන්ධානයේ නායකයා සහ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට මහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ඔහුට භාර දී, නායකයින් සහ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු සියලු පාර්ශවයන් ඔහු යටතේ සමගි සම්පන්නව එකට එක්ව මහා මැතිවරණයට මුහුණ දිය යුතු යැයි ද මංගල සමරවීර මහතා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා අවධාරණය කර සිටියේ පොදු දේශපාලන සන්ධානයේ මහා ලේකම් ධූරය සහ නාම යෝජනා මණ්ඩලයේ බහුතරය ඇතුළු වැඩි බල තල එක්සත් ජාතික පක්ෂය සතු විය යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ජෝන් අමරතුංග මහතා අදහස් දක්වමින් මෙහිදී කියා සිටියේ පක්ෂයේ විනය,සම්ප්‍රදාය සහ වැදගත්කම නොදැන මෙසේ කෘත්‍යධිකාරී මණ්ඩලය වර්ජනය කරන්නාවූ ද,රස්තියාදු කාරයින් ලෙස කතා කරමින් සහ ක්‍රියා කරමින් හැසිරෙන්නාවූ ද කඩප්පුලියන් කෘත්‍යාධිකාරියෙන් පමණක් නොව පක්ෂයෙන් ද එළවා දැමිය යුතු බවය.

ජේ.ආර් ජයවර්ධන මහතා වගේ කොන්ද කෙලින් තබා ගෙන, නායකත්වයේ බලතල පාවිච්චි කරමින් ඍජු තීන්දු තීරණ මත නායකයෙකු වගේ බිය නොමැතිව ක්‍රියා කරන්නැයි ද ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කර සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් ගෙන පරාජයට පත් වුණා වගේ අගමැති අපේක්ෂකත්වයත් එසේම ලබා ගෙන මහ මැතිවරණයත් පරාද වුණොත් පක්ෂයේ දේශපාලන අනාගතය කුමක් විය හැකිද යන්නය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම්,ජනාධිපති අපේක්ෂකකම් සහ අගමැති අපේක්ෂකකම් ඇතුළු තනතුරු ලැබෙන්නේ සිය ආසනය ලක්ෂ ගණන්වලින් හැමදාම පරදින්නාවූ ද,පක්ෂයේ විනය,නීතිය,සම්ප්‍රදාය සහ සාමූහික වගකීම නොතකා පක්ෂයටත් නායකයාටත් ගරහන පුද්ගලයින්ට වීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

මේ සියල්ලට සාවධානව සවන් දුන් රනිල් වික්‍රමසිංහ මහතා,කෘත්‍යාධිකාරී මණ්ඩලය ද වර්ජනය කර සිටී සජිත් ප්‍රේමදාස මහතා පොදු දේශපාලන සන්ධානයේ නායකයා සහ මහ මැතිවරණ ව්‍යාපාරයේ නියමුවා ලෙස නම් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය එම යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *