මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක්

තමාට  කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර  මරණීය තර්ජන එල්ල කළ බව පවසමින්  රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා  අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ  කොට්ඨාසයට  පැමිණ  අද  (28) පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.
 
මරණීය තර්ජන  එල්ල වී ඇති හෙයින් තමාට  ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.
 
ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්  රහස් පොලිසියට හා  පොලිස් බුද්ධි අංශ වලට ද  දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද  එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
 
ශානි අබේසේකර මහතා  වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම  මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පාර්ලිමේන්තු මන්ති‍්‍ර  රංජන් රාමනායක මහතා සමඟ අධිකරණයේ  නඩු කටයුත්තක්  සම්බන්ධයෙන්  සංවාදයේ යෙදුණු බව කියන සිද්ධියක් මුල්කරගනිමින්  ශානි අබේසේකර මහතා මීට  සති කිහිපයට පෙර වැඩ තහනමට ලක් කෙරිණි.  

(ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *