පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු) – අජිත් පැරකුම් ජයසිංහ

ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි.

කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත.

ශ්‍රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන නායකයන් බවට ද තර්ක කළ හැකි ය.

අපගේ දේශපාලන නායකයෝ අන්ත දූෂිතයෝ ය. මිනීමරුවෝ ය. පල් හොරු ය. ස්ත්‍රී දූෂකයෝ ය. මිථ්‍යාව පසුපස දුවන මුග්ධයෝ ය. පහසුවෙන් තේරුම් ගත හැකි මෝඩ කපටියෝ ය. ඇත්තේ ඉහත කී ලක්ෂණවල අඩු වැඩිකම් පමණි.

අපෙන් නායකත්වය ඉල්ලා සිටින විකල්ප පුද්ගලයන් හා ව්‍යාපාර කෙබඳු ද? ඔවුන් එක්කෝ ජාතිවාදයෙන් තම අරමුණ කරා යා හැකි යයි සිතන්නෝ ය. නැතිනම් ලෝක විනාශවාදියෝ ය. ඒ කියන්නේ වයසින් හා ඥානයෙන් මුහුකුරා නො ගිය සිසුන්, තරුණයන් වැනි පිරිස් රවටා ඔවුන් අන්ධ භක්තිකයන් බවට පත් කරගෙන ඔවුන්ගේ ජීවිත මතින් සිය අරමුණු වෙත යන්නට උත්සාහ කරන්නෝ ය.

අපට එවැනි නායකයන් පිරිසක් ලැබී ඇත්තේ ඇයි? මූලික ප්‍රශ්නය තිබෙන්නේ ජනතාව වන අපගේ ම ය. ජනතාව ලෙස අප ද දූෂිතයෝ ය. අපි කෙතරම් නීති ගරුක ද? පාර පනින්නට පදික මාරුව ළඟ කොළ එළිය දැල්වෙනකල් බලා ඉන්නට අපි කීදෙනෙක් සූදානම් ද? භාවිතා කරන පොලිතින් වෙන් කර කසල බඳුනකට පමණක් දමන්නට අප කීදෙනෙක් සූදානම් ද? නිවස ඉදිරිපිට පාර අපේ යයි අපි කීදෙනෙක් සිතනවා ද? තමන්ගේ රැකියාව, ව්‍යාපෘතිය එහි පාර්ශ්වකරුවන්ට සාධාරණය ඉටු වන පරිදි හරියට කළ යුතු යයි සිතන්නේ කී දෙනා ද?

අප කැරකෙමින් සිටින්නේ විෂම චක්‍රයක ය. අපට ගැලපෙන නායකයන් අපට ලැබේ. ඉන් පසු අපි උන්ට බැන බැන කලකිරෙන්නෙමු.

ජනවාරි 8 අප විසින් ජනාධිපතිවරයකු පත් කර ගන්නා ලදී. ඔහු අපට අවශ්‍ය ආකාරයේ නායකයකු වූයේ නැත. එහෙත්, ඔහු නායකයකු ලෙස ගොඩනැගෙනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු. 2016 වන විට බොහෝ දෙනෙක් කලකිරී සිටිති. නිදසුනක් ලෙස ගතහොත්, ජාතිවාදී, පසුගාමී චින්තනයක් ප්‍රවර්ධනය කරන බාල පුවත්පත් කලාවක සංකේතයක් ලෙස සැලකිය හැකි දිවයින පුවත්පතේ කතුවරයා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශකවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිය පදනම් ශක්තිමත් කර ගැනීම සඳහා ද ඔහු තමන්ට සමීප කර ගනිමින් හා ඉදිරියට ගනිමින් සිටින්නේ රාජපක්ෂ පාලනය තුළ ඉතාම නරක අන්දමින් කටයුතු කළ පිරිස් ය.

බලයේ සිටින ජනාධිපතිවරයකු තමන් වටා එක් රැස් කර ගන්නා පුද්ගලයන් ඉතා වැදගත් ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුව, ඇමති මණ්ඩලයට පත් කරන ලද ඔහුගේ නියෝජිතයන්, ඔහුගේ උපදේශකයන්, මාධ්‍ය මෙහෙයුම්කරුවන් ආදීහු ප්‍රගතිය අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු සුන් කරන අය වෙති. එහෙත්, මෙම පිරිස් රාජපක්ෂවාදයේ මධ්‍ය ස්නායු බවට පත් වී සිටි අය බව ද අමතක නො කළ යුතු ය.ඔවුන් අහිමි වීම රාජපක්ෂවාදයේ පරාජයකි.

බලයට පත් වී වසරකට පසුවත් ජනාධිපති මෛත්‍රීපාල තවමත් සිටින්නේ මහින්ද රාජපක්ෂ සමග අරගලයක ය. ඔහු තවමත් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිය පදනම ශක්තිමත් කර ගැනීමේ අතිශය උන්නතිකාමී වැඩසටහනක ය. ඔහු තවමත් රාජ්‍ය පාලනයට බැරෑරුම් ලෙස මැදිහත් වී ඇති බවක් නො පෙනේ. රාජපක්ෂ ඒකාධිපතිවාදය පරාජය කිරීම තීරණාත්මක සාධකයක් බව ද අප අමතක නො කළ යුතු ය. එහිදී කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ පවුලට නැවත බලයට පත් වීමට ඉඩක් නො තැබීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණයකි. එහෙත්, එය කළ යුත්තේ රාජපක්ෂවාදයෙන් ඇතුළතින් ම මිදෙන ගමන් ය. ජනාධිපතිවරයාගේ වසරක කාර්යසාධනය තුළ එය කෙතරම් දුරට අත්පත් කරගෙන ඇත් ද යන්න ද අප සාධාරණ අන්දමින් කල්පනා කළ යුතු ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසරක කාර්යසාධනය නරක එකකැයි මම නො සිතමි. එය පරමාදර්ශී එකක් නො වේ. පරමාදර්ශයන් බලාපොරොත්තු වන්නේ කුමට ද? ඔහු රාජපක්ෂ අභියෝගය සාර්ථක අන්දමින් පසුබස්වා තිබේ. ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මුලපිරීම් කර තිබේ. 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරම්භ කරන ලද එය මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ වැඩසටහනක් දක්වා ඉදිරියට පැමිණ තිබේ.

දූෂිතයන්ට තව දුරටත් මුක්තිය ලැබීම පිළිබඳ බොහෝ දෙනෙක් කලකිරී සිටිති. එහෙත්, දේශපාලන මැදිහත් වීම් හරහා දූෂිතයන්, දේශපාලන ඝාතකයන් වැනි සමාජයට එරෙහි අපරාධකරුවන්ට දඬුවම් කරනු වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන්ට ස්වයංව ශක්තිමත් වීම සඳහා ආණ්ඩුව පහසුකම් සපයා තිබේ. එය ඵලදායී වෙමින් තිබෙන බව මේ වන විට අපරාධ පරීක්ෂණවල සිදු වෙමින් තිබෙන දේවලින් පෙනේ.

ආර්ථික පැත්තෙන් ගත් කල ආණ්ඩුව තවමත් අඳුරේ අතපත ගාමින් සිටින බවක් පෙනේ. එහෙත්, රාජපක්ෂවාදය විසින් නිර්මානය කරන ලද ආර්ථික වියවුලෙන් මිදෙන ගමන් ම, රටට ගැලපෙන චිරස්ථායී ආර්ථික මූලෝපායක් සම්බන්ධයෙන් සංවාදයක් පැවතීම ද වැදගත් ය.

නායකයන් ගැන ලොකු බලාපොරොත්තු තබා ගන්නට බැරි බව ජනවාරි 8 විප්ලවයෙන් වසරක් ගත වන විට නැවත ඔප්පු වෙමින් තිබේ. එහෙත්, තවත් ඒකාධිපතියකු ගැන සිතීම ප්‍රශ්නයට විසඳුම නො වේ. එහෙත්, කලකිරී පැත්තකට වීම ජනතාව පැත්තෙන් ගත් කල වගකීම් විරහිත ක්‍රියාවකි. සවිඥානක, සක්‍රිය පුරවැසියා යනු හැම විට ම යහපත් සමාජයක් සඳහා අරගලයේ වැදගත් පාර්ශ්වකරුවෙකි. පුරවැසියාට සිය මැදිහත්වීම සාර්ථක අන්දමින් කළ හැත්කේ අන්තයන් වෙත තල්ලු නො වී ඉතා උපායශීලී ලෙස මැදිහත්  වීමනි.

අජිත් පැරකුම් ජයසිංහ

W3Lanka web

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *