එජාප නායකත්ව ගැටලුව විසඳුමට කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දයක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 තමන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය බහුතරය සකසා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සහාය දක්වන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නම් කර ඇති බවත් සඳහන් වේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොමැතිව මීළඟ කුමන මැතිවරණයකට ගියත් ජයග්‍රහණය කළ නොහැකි බවයි.

මේ අතර පක්ෂයේ නායකත්ව අර්බුදය නායකත්ව මණ්ඩලයකින් මිස තනි නායකයකු පිළිබඳ අරගලය ජය නොගන්නා බව ද ඔවුහු පවසති. රනිල්, කරු සහ සජිත් එකතුවෙන් නායකත්ව මණ්ඩලයක් හැදීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවත් ඉදිරි මහ මැතිවරණය නායකත්ව මණ්ඩලයකින් මෙහෙයවන බවත් ඔවුහු අවධාරණය කළහ.

මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *