කබ්‍රාල්ගේ යුගයේදී අර්ථසාධක අරමුදලට බිලියන ගණනින් පාඩු කළ කොටස් වෙළඳපොල ගනුදෙනු එළියට

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සේවක අර්ථසාධක අරමුදලට (EPF) රුපියල් බිලියන ගණනාවක් පාඩු කළ කොටස් වෙළඳපොල ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ. 

සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන අතර එහි ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියා කරන සේවකයින් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල්ය. එහි ආයෝජන කටයුතු සිදු කෙරෙන්නේ මහබැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය මණ්ඩලය විසිනි. ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට ලාභ අත්කර දෙමින් මේ ජනතාවගේ අරමුදලේ මුදල් බිල්ලට දීමට එවකට මහබැංකු පාලකයින් කටයුතු කර ඇති ආකාරය වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

2008 – 2013 කාලසීමාව තුළ කොටස් වෙළඳපොල හරහා සිදු කෙරුණු ආයෝජන ගණනාවකින් මෙසේ පාඩු ලැබී ඇති අතර  විශේෂයෙන් 2010 වසරේදී මෙවන් ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවයි එම වාර්තාවෙන් දැක්වෙන්නේ. 

එම වාර්තාවෙහි දැක්වෙන අන්දමට 

බ්‍රවුන් ඇන්ඩ් කොම්පැනි පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1,304.24

සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 651.91

ගලධාරී හොටෙල්ස් ලංකා පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 620.62

කලම්බෝ ඩොක්යාඩ් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1868.63

බුකිට් ධාරා පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1707.18

කාසන් කම්බැච් පී.එල්.සී. හි ආයෝජනයෙන් අර්ථ සාධක අරමුදල ලබා ඇති පාඩුව – රුපියල් මිලියන 1,625.64 

එම යුගයේදී දුරකථන ඇමතුම් පටිගත කිරීමේ පහසුකම් සහ ඊ – මේල් විස්තර ලබාගැනීමට නොහැකි නිසා තැරැව්කරුවන් සහ මහබැංකු නිලධාරීන් අතර සංවාද සිදුකෙරුණේදැයි තහවුරු කළ නොහැකි බව ද එම වාර්තාවෙහි සඳහන්. කෙසේවෙතත් මෙම ඇතැම් ගනුදෙනුවලදී කොටස් වෙළඳපල තුළ සිදුකෙරෙන කෘතීමව කොටස් මිල ඉහළ නංවා අධිමිලට විකිණීමේ වංචාව  (Pumping and dumping) සිදුව ඇති ආකරය බැලූ බැල්මට පෙනේ. 

ලැයිස්තුගන නොවන සමාගම් ගණනාවක් තුළ සිදු කෙරුණු ආයෝජන සම්බන්ධයෙන් ද එම වාර්තාවෙන් කරුණු දක්වා තිබේ. මේ බොහෝ ගනුදෙනුවලදී නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව, අවශ්‍ය අනුමැති ලබා නොගෙන කටයුතු කර තිබෙන බව ද වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *