ජනපතිගෙන් මදය නැති ව්‍යවස්ථා යෝජනාවක්; චම්පිකත් සුපුරුදු ක්‍රිඩාවේ.

නව ආණ්ඩුක්‍රමයට අදාළව, ජනාධිපතිවරයා ජනවාරි 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ මූලික හරය ඉවත් කිරීමට ජනාධිපතිවරයා හදිසියේම තීරණය කළ බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් යුක්තියට දැනගන්නට ඇත. වාර්තාවන ආකාරයට, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ම අහෝසි කොට උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට කල්පවත්නා දේශපාලන විසඳුමක් ලබාදෙන බව උක්ත යෝජනාවේ පූර්විකාවේ ඇතුලත් ව තිබුණු බව කියැවේ. එහෙත් අවසන් මොහොතේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපෑම මත ජනාධිපති ක්‍රමය ඉවත්කිරීම යන්නට පමණක් එම වගන්තිය සීමා කළයුතු බවට යෝජනා කෙරී ඇති බව දැනගන්නට ඇත. විධායක ධූරය ඉවත් කිරීමට එකගවීමෙන්, ප්‍රජාත්නත්‍රවාදයට ජනාධිපතිවරයාගේ ඇති කැපවීම පමණක් අවධාරණය වියයුතු බව ඔවුන්ගේ අදහස වී ඇත. ජාතිවාදීන් ගේ සහ ශ්‍රිලනිපයේ බලපෑමට ජනාධිපතිවරයා මෙසේ යටවන්නේ නම් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, නව ව්‍යවස්ථාවක් නොව ව්‍යවස්ථා සංශෝධනයකට සීමාවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ. මෙය නව ව්‍යවස්ථාවක් සදහා කෙරෙන යෝජනාවක් නොව ව්‍යවස්ථා සංශෝධනයක් බව චම්පික ඇමතිවරයා ද මේවන විට ප්‍රකාශකර ඇත.
මේ තත්ත්වය ඉදිරියට ගොස්, දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලම්වලට ඇහුම්කන් දීමට දකුණේ දේශපාලන පක්ෂ සූදානම් නොවන්නේ නම්72 සහ 78 ව්‍යවස්ථා මෙන් මේ ව්‍යවස්ථාව ද දෙමළ ජනතාවගේ සහභාගිත්වයක් නැති, සිංහළ ජනයාගේ උවමනාවන් අනුව නිර්මාණය වන ව්‍යවස්ථාවක් වීමට ඉඩ ඇති බව තවත් පිරිසකගේ මතයයි. මේ පිළිබඳව අපකළ විමසුමක දී, ජාතික ප්‍රශ්නය, නොවිසඳුණු ප්‍රශ්නයක් හැටියට තවදුරටත් පවතින්නට ඉඩ ඇති අතර, වෙනම රාජ්‍යයකින් තොරව තමන්ට වෙනත් විසඳුමක් ඉතුරු නොවන දෙමළ දේශපාලනඥයෙක් පැවසී ය.
අප කළ තවත් විමසීමකට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු පිළිතුර වූයේ, තමන්ගේ යුතුකම ඉටුකිරීමට අගමැතිවරයා නොපැකිල කටයුතු කරන බව ය. ඒ පිළිබඳව හෙට පැවැත්වීමට නියමිත අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සඳහන්වන බව ද ඒ මගින් දැනගන්නට ඇත. කෙසේ නමුත් වැඩිදුරටත් වාර්තාවන ආකාරයට මේ මතභේදාත්මක තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ජනාධිපතිවරයාගේ ඇති කැපවීම, විධායක ධූරය ඉවත් කිරීමෙන් පමණක් සිදුනොවන හෙයින් පූර්විකාව සම්පුර්ණයෙන්ම ඉවත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ද තිබේ. එම යෝජනාව කරන අයවලුන්ගේ අදහස වී ඇත්තේ මේ රටේම පුරවැසියන් වන දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සැළකිල්ලට නොගන්නා ජනාධිපතිවරයෙක්, ප්‍රජාතන්ත්‍රවාදය සදහා කැපවීමක් කළ පාලකයෙකු වන්නේ කෙසේ ද යන්න ය. මේ නිසා පූර්විකාවක් නොමැතිව, විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව පමණක් හෙට ඉදිරිපත් කිරීමට ඇති යෝජනාවට ඇතුල්වීමට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *