මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 10යි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කර අදට (24) වසර 10ක් සපිරෙයි. 2010 ජනවාරි 24 වනදා රාත්‍රියේදී රාජගිරිය ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගෙන ගොස් තිබුණේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් විසින් බවත් ඔහුව ගෙනගොස් තිබුණේ ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. 

නොයෙකුත් බාධාවන් මැද සිදු කෙරුණු දීර්ඝ කාලීන විමර්ශනයකින් පසු, 2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට ද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවට ද යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරුණේ 2019 නොවැම්බර් මාසයේදීය. 

ඒ, ගිරිතලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ‍්‍රමනියම්, ඞී.ජී. තරංග ප‍්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිවය. 

විමර්ශනවලදී හෙළිදරව් වී තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කර, ඝාතනය කර, මළ සිරුර මුලින් මඩ වගුරක ගිල්වා, පසුව කැබලි කර මුහුදේ ගිල්වා දමා ඇති බවකි. 

ඇත්තෙන්ම ප්‍රගීත් ඝාතනය කිරීමෙන් ද අපරාධය හෝ පළිගැනීම නතර වුණේ නැත. මුලින්ම ඔහු අතුරුදන් කර නොමැති බවටත් ඔහු රටින් පළාගොස් ප්‍රංශයට වී සුවෙන් ජීවත් වන බවටත් ප්‍රචාරණය කෙරිණි. මේ අමූලික බොරුවට ඇමතිවරුන් මෙන්ම ඉහළම නීති නිලධාරීන් ද දායක විය. එහෙත් ඒ සියල්ල අසත්‍ය බව ඔවුන්ටම පිළිගැනීමට අවසානයේ සිදුවිය. 

ඉන් අනතුරුව ප්‍රගීත් යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඔත්තු ලබාදෙමින් රට පාවාදුන් ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසනු ලැබිණි. ඒ සඳහා ව්‍යාජ හඬපට පවා නිර්මාණය කෙරිණි. එහෙත් අවසානයේදී ප්‍රගීත්ට කිසිදු ත්‍රස්තවාදී සම්බන්ධයක් නොතිබුණු බව බුද්ධි අංශවලටම පිළිගැනීමට සිදුවිණි. 

මේ මෑතකදී පවා ප්‍රගීත් ඩුබායි රාජ්‍යයට වී සිටින බවට මඩ ප්‍රචාරණයක් වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයකු විසින් ගෙනගිය අතර පසුව එයද අමූලික බොරුවක් බව ඔප්පු වුණි. 

ප්‍රගීත් ඝාතනය කළ පුද්ගලයින්ගේ වුවමනාව වූයේ ඔහුව මරා දැමීමේ අපරාධය වසන් කරගැනීම සඳහා වඩාත් දරුණු ලෙස ඔහුගේ චරිතය ඝාතනය කිරීමටය. එහෙත් එය සාර්ථක වූයේ නැත. 

මෙතරම් යට ගැසීම සඳහා උත්සාහ දැරුණු ප්‍රගීත්ගේ සිදුවීම එසේ යට ගැසීමට ඉඩ නොදී ඉදිරියට ගෙනගියේ ප්‍රගීත්ගේ ආදරණීය බිරිඳ වූ සන්ධ්‍යා එක්නැලිගොඩ නම් දිරිය ගැහැණිය විසිනි. ගැහැණියක වශයෙන් ලද හැකි සියලුම නින්දා, අපහාස, ගර්හා, තර්ජන ඇයට ලබන්නට සිදුවූ නමුත් ඇයගේ නොපසුබස්නා වීර්යය ඉදිරියේ, ඇගේ සටන්කාමීත්වය ඉදිරියේ ප්‍රගීත්ව අතුරුදන් කරවූ, එම අතුරුදන් කරවීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරූ ප්‍රබලයින් ගණනාවකටම පසු බැසීමට සිදුවිය. ඇයට ඒ පිළිබඳ ගෞරවය හිමිවිය යුතුය. 

කෙසේවෙතත් ප්‍රගීත්ට යුක්තිය ඉටු කරන බව කියමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ ද සිදු නොකෙරුණු නඩු කටයුත්ත ඉදිරියට ගෙනයාම දැන් යළිත් ප්‍රගීත් ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ පාලකයින් වෙතම ලැබී තිබේ. ප්‍රගීත් අතුරුදන් කරවූවන් රණවිරුවන් බැවින් ඔවුන්ව වහාම නිදහස් කරන බවට පොරොන්දු දී බලයට පැමිණි පාලනයක් හමුවේ නඩු විභාගය පිළිබඳ කොහෙත්ම විශ්වාසයක් තැබිය නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව කණගාටුවෙන් වුවත් කිව යුතුව තිබේ. විශේෂයෙන් මෙම අපරාධය පිළිබඳ විමර්ශන සිදුකළ විමර්ශන නිලධාරීන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර, වැඩ තහනමට ලක් කර හෝ රටින් පළායන තැනට වැඩ සකස් කෙරුණු පසුබිමක නීතියේ දෙවඟනගේ හැසිරීම දෙස දෑත් බැඳ බලාසිටිනවා විනා වෙන කළ හැක්කක් නොමැති තැනට අපි පත්ව සිටිමු. 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය හැඳින්වෙන්නේ හතර වැනි ආණ්ඩුව ලෙසය. එහෙත් පළමු, දෙවැනි, තෙවැනි ආණ්ඩු වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ශ්‍රී ලංකාව තුළදී හතරවැනි ආණ්ඩුවට සලකන්නේ කෙසේදැයි යන්න යුක්තිය ඉටු නොවෙනා මායිමක අතුරුදන් ලැයිස්තුවකට වී හිඳිමින් ප්‍රගීත් එක්නැලිගොඩ නම් මාධ්‍යවේදියා අපට ඇහැට ඇඟිල්ලෙන් ඇණ පෙන්වයි. 

සත්‍යය මරා දැමීම සඳහා ගිල්වා දැමුණු රුධිර ගංගාව අබියස හිඳිමින් සත්‍යයේ නාමයෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන් අපට කියන්නට ඇත්තේ අපට කිසිවක් අමතක නැති බවය ! කිසිවක් කිසිදාක අමතක නැති බවය !!

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *